විහිදි මිණි කිරණය
දොර දොරෙහි රන් තොරණය
නීති සතොස කරණය
සිරින් පිරි'තිරි එ පුර දෙරණය
සතුරන් කළ නිහඬ
එහි රියසක්හි සක් හඬ
වැජඹෙයි දසත මැඬ
ලෙසින් රළගළ සයුර ගත් හඬ
පුර දෙරණත පිරී
කුරරොන් සමඟ ඉතිරී
දිගත ගොස් පැතිරී
පවති භය මිණි කිකිණි ගිගිරී
කුරරොන් සමඟ ඉතිරී
දිගත ගොස් පැතිරී
පවති භය මිණි කිකිණි ගිගිරී
පසඟ තුරු නාදේ
ගජසෙන් කුංච නාදේ
සමඟ තුති නාදේ
එ පුර දිව රෑ එකනි නාදේ
එව කව බොව කියන
තෙපුලෙන් පිරුණු ඇමතැන
උතුරුකුරු දිවයින
වැන්න ඉසුරෙන් එ පුර හැම දින
සුරන් පහ සදිසිය
දිලී සතරුවන් බිතුසිය
සත්දහස් සත්සිය
සතක් රජ මහපහය ගැවසිය
කෙළින පුර වැසියන්
ලොබවන තරම් දෙවියන්
සව්සිරි නිසැදියන්
සෑදිණි එපමණ පොකුණු ගෙවුයන්
නිරිදුන් පෙම් බැදී
උණුන් වෙත සිත් පැහැදී
ඉඳිනෙන් එහි සැදී
බියෙන් මෙන් කිසි දුකක් නො ව දී
රෑ දෙවෙහි නිතොරේ
මිණිපහ පැහැය පැතිරේ
දුරුවන ගන'දුරේ
ලොවැති සව් සිරි සපිරි එපුරේ