දෙවන පිටුව
 


සුරතුරු මෙන් කැමැති
දෙය යදියන්ට දෙන නිති
ලොව පරසිදු පිනැති
නොයෙක්‌ මහසල් කුලන්ගෙන් යුති


සුරඟන සිරිසිලු
වරඟන කෙළින සඳලු
ලියගී කන්කලු
ඉමෙක්‌ නැත රඟන රඟ මඩුලු

ඇම තැන ඇති සැපත්
එක තැන් කළෙ'ව් සිරිගත්
දැක දැක රිසි නුමුත්
නැතැයි යන සම්පතෙක්‌ එහි නැත්


නන් වෙස්‌ නන් බරණ
සැපතින් පිරුණු අපමණ
සිටි වයසෙහි තරුණ
කෙසේ මෙතෙකැයි යෙත් ද නරගණ


සිහිල් දිය පිරුණු
පියගැට පෙළින් දිලුණු
බිඟුදැල් විසුරුණු
වීය තැන තැන පියුම් පොකුණු


නලඹල නන් කෙහෙලි
බන් මිණි කිකිණි මුතු ලැලි
රන් වැට පහන් දිලී
දොරින් දොර දන් දෙවන දන්හලී


අසුරසෙන් තරමින්
තැන තැන පැන අතරමින්
රුපුමන් උපුරමින්
සරන බල සෙනඟ අවිසරමින්


ගිජිදුන් තිමඳ ගීලී
තුරඟුන් සමඟ නො හැකිලී
තබා බන් රනැ'තිලී
කෙළින තැන් තැන්හි ගිලී අලි කුලී


දැනගෙන විදු සියල්
උණුනට වෙමින් පිළිමල්
කියත රෑ දවහල්
සැදිණි වෙන වෙන නොයෙක්‌ විදුහල්

(c) Shilpa Sayura Foundation 2006-2017