ගමන් වියදමට දුන් අත්සුනු ටික පසුම්බියක ලා කරේ දමා
අරන් නිමිති පොත ලකවැල සැරයටි තුඩ කබලද යන දේ මෙහැමා
වහන් දෙපයල ගියෙ මගට බැස සිතමින් සිතිවිලි ලඳ ගැනමාහෙමින් හෙමින් ජයතුරා පුරට ගොස් වෙසතුරු හිමි කොයිදැයි ඇසිලු
එතෙන දී ජූජක බමුණට සිදුවුණු හරියද ඇසුවොත් මදි නැතිලු
රටෙන් ගියේ රජතුමා මුන්හන්දයි කපී අසල සිටි දන සියලු
අතින් පයින් කැට මුගුරෙන් තලමින් නුවරින් පන්නා දැම්මාලු
දෙවි බැල්මෙන් ඔහු වංකගිරියටම යන පාරට වනි රිසි ලෙස්සේ
රැකවල් කරසිටි වැදි හට අසුවී බල්ලන් එලවිය පසු පස්සේ
සැනසිල්ලක් නොව ගහකට බඩගා හැංගුනු බව දැන අතු අස්සේ
බඩවැල් තොගෙ ඇදලමි කියලා විදින්ට හැදුවායින් පස්සේ
වෙසතුරු නිරිඳුට රජකම දෙන්නට කැඳවා එන්නටයයි තොපමා
ජයතුරු පුර සිට පණිවුඩයක් ගෙන අනෙ වංකගිරියට යමීමා
අනතුරු නොකරනු විදලා නොමරනු කීකල යටහත් වී බොහොමා
මෙම බොරු ටික ගැන රැවටී වැද්දා ඉවතට ගෙන ඊ දුනු වහමා
බැඳලා බල්ලන් විගසට බමුණා ගසෙන් බිමට බස්වා හෙමිනා
කවලා මී පැණි සමගින් දඩමස් හොඳහැටි බඩ පුරවා ලමිනා
කියලා හරියට යන මග සලකුනු පිටත්කලයි කරුණා සිතිනා
තෙපලා බොරු වැදි රැවටුවේ නැත්නම් උන්දැගෙ වැඩ ඉවරයි එදිනා
අව් චුත නම් වන තාපස උතුමෙක් හමුවී පවසා බොරු බොහොමා
සිත් ලෙස බාලෙදි වෙසතුරු නිරිඳුට අකුරු ඉගැන්නුවෙමි මෙමමා
සත් මසකින් දුටුවේ නැති හින්දා බලන්ට යමි කියලා එතුමා
සිත් ලෙස මග තතු තපයාගෙන් දැන ගියා වංකගිරියට නොපමා
