පෙනුමට රුව දරුවො ඇතත් දුටුවන් මන පිනන කදිම
අතමිට වැඩිපුර නැත්නම් ලොකුවට වැඩ බැරිය කෙරුම
එහෙමට මොකවත් කරලා ගැලවෙන්නට හැදුවොත් හෙම
අපෙ රට දැන් හිටින ළමෝ කැමති නොවී දොඩති බොහොම
කැමති වෙලා මව්පියවරු දෙනවානම් කාරය බැඳ
රුවැති උනත් නූනත් ඔහු බාර ගනිව් දරුවනි හොඳ
විමති නැතිව ජූජකයා සමඟ බැමිණි ගිය කරුණද
රුවැති ගෑණු ළමයින්හට ගන්නට හොඳ ගුරුකමවද
මෙලෙසින් මඟ යන එන අය කියන තෙපුල් නොගෙන සිතට
කළ පින් හැටියට ලත් මේ හිමියා අනෙ හොදයි මෙමට
පිණමින් සිත කොහොඹ ගහේ කරිවිල වැල එතුන ලෙසට
කඩිනන් කර ගියෝ එදා ජූජකයා සිටි ඉඩමට
ගෙදරට ආපසු ඒ යස බැමිනී
වැඩකට යුතු විමසා සලසමිනී
විගසට ගේදොර අතුගා ලමිනි
කදිමට පිරිසිදු කළෙ සන්තොසිනි
අලුත් තරුණ මනමාලියො අපරට
ගෙණත් කලක් පසුවන තුරු විගසට
මහත් උඩගු ගති පාමින් විට විට
නොයත් කිසිම ගේදොර වැඩපලකට
අදිමින් දරදිය වලඳුත් සෝදා
තවමින් හිමිහට රුති ලෙස සාදා
නොවමින් නෙසක් හිමි සිත පාදා
මෙලෙසින් පැවතුනි බැමිණිය එදා
බත බුලතින් අගහිගයක් තිබුනත්
නෙත කඳුලැලි ඉස කොන්වී ඉඳුමත්
වත යකිනිය ලෙස රොස්කර පෑමත්
නැත ඵලඳට පැවතුනෙ කවදාවත්
මෙලෙසින බැමිණිය පවතින අතරා
ඇගෙ ගුන පැතුරිනි එම මුළු නුවරා
සියැසින දුටු අය තම තම ගෙදරා
පියගන ලග සිට පවසති මෙයුරා
ගොනා වගේ සිටි ජූජක බමුනා
ගෙනා ගෑනි නම් කීයත් වටිනා
හිනා උනෙමු අපි කවුරුත් එදිනා
හිනාව දැන් හොඳ අතටම හැරුනා
අපේ ගෙදර සිටිනා මහ ගෑනී
අපේ මාලු කෑමට නම් හපනී
ලිපේ තිබෙන දේ බාගෙන කමිනී
අපේ අගුන පවසයි ඉඳ රොසිනී
කියා නුගුන තම තම අගනුන්නේ
දයා නොවම බැන ගුටි බැට දෙන්නේ
එයාගෙ ගතියට හැදෙව් කියන්නේ
දියාරු විය ඉන් සිත් ගෑණුන්නේ
