ලංකාවේ ආරම්භ කළ ප‍්‍රථම බෞද්ධ පාසල වන්නේ දොඩන්ඩූවේ පියරතන හිමියන් විසින් පිහිටුවන ලද ලෝකාර්ථ සාධක සමිතිය මඟින් ආරම්භ කළ ජිනලබ්ධි විශෝධක පාසලයි. මෙය ස්වභාෂා පිරිමි පාසලකි. ඊට අනුබද්ධවී යශෝධරා බාලිකා පාසල නමින් ගැහැණු පාසලක්ද ආරම්භ විය.
ඉන්පසු කොග්ගල, අම්බලන්ගොඩ, කටුකුරුන්ද, පානදුර, කොරතොට, සහ ගාල්ල යන ස්ථානවල බෞද්ධ පාසල් ආරම්භ විය. මෙම පාසල්වලට රජයේ ආධාර ලබා ගැනීමේදී මිෂනාරීන්ගේ විවිධ බාධාකවලට මුහුණ දීමට සිදුවිය.
ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන් පිහිටවූ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම මඟින් කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද, යන පාසල් සහ රත්නපුරය, අනුරාධපුරය යන නගරවල ද බෞද්ධ පාසල් ආරම්භ කරන ලදී, කාන්තා අධ්‍යාපනය සඳහා ඉංග‍්‍රීසි මාධ්‍ය පාසල් කීපයක්ද ආරම්භ විය. 1890 දී කොළඹ සංඝමිත්තා විදුහල, 1897 දී මියුසියස් විද්‍යාලය, සහ ඊට අනුබද්ධ ගුරුවරියන් පුහුණු කිරීමේ ආයතනයක් ද ආරම්භ විය.
ආරුමුග නාවලර් තුමාගේ මෙහෙයවීම මත හින්දු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා 1872 දී යාපනයේ ශෛව ප‍්‍රකාශ විද්‍යාලය සහ 1877 දී ශෛවන්ගලී විද්‍යාලය ද ආරම්භ විය. 1888 දී ඇති කළ ශෛව පරිපාලන සභා මඟින් 1900 වන විට හින්දු පාසල් 45ක් ආරම්භ කර තිබුණි.
1892 දී ආරම්භ කළ මුස්ලිම් අධ්‍යාපන සංගමයේ මෙහෙයවීමෙන් කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ විය.
