තේ වගාව ඇතිවීම
 

තේ පැළෑටිය මෙරටට හඳුන්වා දෙන ලද්දේ 1839 වර්ෂයේදී ය. ඇතැම් වර්ගයේ තේ ගස ලංකාවේ සාර්ථක ලෙස වගා කළ හැකි බව 1860 ගණන්වල කළ පර්යේෂණවලින් පෙනී ගිය නිසා පේරාදෙනිය, උද්භිද උද්‍යානයේ අධිකාරී වරයා වූ ත්වෙයිට්ස් මහතා විසින් වගාකරුවන් තේ වගාවට උනන්දු කරවන ලදී. එහෙත් මෙකල කෝපි වගාවට තිබු උනන්දුව නිසා තේ වගාව කෙරෙහි දැක්වූ සැලකිල්ල අඩු විය.

කෝපි කොළ රෝගය පිළිබඳව මුලින්ම දැනගත් කාලයේ එනම් 1867 වර්ෂයේදී ජේම්ස් ටේලර් නමැති ඉංග‍්‍රිසි ව්‍යාපාරිකයා විසින් ලංකාවේ ප‍්‍රථම තේ වත්ත මහනුවර හේවාහැට ප‍්‍රදේශයේ ලූල් කඳුර නම් ස්ථානයේ දී ආරම්භ කරන ලදී. කෝපි පරිහානියෙන් පසු තේ වගාව කෙරෙහි වූ නැඹුරුව වැඩි විය.

1867 දී අක්කර 10 ක් වූ තේ වගා බිම් ප‍්‍රමාණය 1883 වන විට අක්කර 35,000 දක්වා වැඩි ඉහළ ගියේය. 1890 වන විට එය අක්කර 2,20,000 දක්වා වැඩිවිය.

තේ වගාවේ දියුණුවට බලපෑ හේතු :

1. සිංකෝනා හා කොකෝවා යන වගාවන් අසාර්ථක වීම නිසා 1885 න් පසු මෙරට වතු ව්‍යාපාරිකයන්ට තිබූ එකම විකල්පය වූයේ තේ වගාවට යොමු වීම පමණි.

2. 1880 ගණන්වල ලන්ඩන් වෙළඳපොලේ තේ මිල ඉහළ යාම.

3. දුම්රිය මාර්ග හා වෙනත් පහසුකම් මේ වන විට ගොඩනැගී තිබීම සහ කොළඹ වරාය වැඩි දියුණි වීම නිසා අපනයන පහසුකම් ලැබීම යන කරුණු මත ප‍්‍රවාහන හා අපනයන විදයම් අඩුවීම.

4. බි‍්‍රතාන්‍ය වෙළඳපොළේ චීන තේවලට තිබුණු ඉල්ලූම අඩුවී ලංකා හා ඉන්දියානු තේ සඳහා ඉල්ලූම වැඩිවීම.

5. 1890 න් පසු ලංකාවේ තේ සඳහා ක‍්‍රමවත් ප‍්‍රචාරක ව්‍යාපාරයක් යුරෝපය තුළ ආරම්භ වීම නිසා බි‍්‍රතාන්‍යය හා යුරෝපයේ සෙසු රටවලත් ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව යන රටවලත් ලංකාවේ තේ සඳහා හොඳ ඉල්ලූමක් ඇතිවීම නිසා වෙළඳපොළ පුළුල් වීම.

6. විශාල කර්මාන්තශාලා සහ නවීන යන්ත්‍රෝපකණ භාවිතය ඇරඹීමත් කළමනාකරණ කටයුතු ප‍්‍රතිසංවිධානය කිරීමත් නිසා උසස් වර්ගයේ තේ ලෝක වෙළඳපොළට ඉදිරිපත් කළ හැකිවීම.

7. 1907 පමණ වන විට ලෝකයේ තේ පරිභෝජනය වැඩිවීම මත ඉල්ලූම සහ මිල ඉහළ යාම.

1914 පමණ වන විට ලංකා තේවලට ලෝක වෙළඳපොළේ හොඳ ඉල්ලූමක් ඇති විය. 1 වැනි ලෝක යුද්ධ සමයේ ලංකාවේ තේ කර්මාන්තය දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑවේය. නැව් ගාස්තු ඉහළ යාම, පොහොර භාවිතය අඩුවීම, නැව් ගමනාගමනය අවහිර වීම නිසාෙ නිෂ්පාදිත තොග ගොඩගැසී තිබුණු තේ තොග වෙළඳපොළට පැමිණීම නිසා මිල අඩුවිය. මේ අවස්ථාවේ තේ නිපදවන රටවල් එක්වී නිෂ්පාදනය සීමා කිරීමට කටයුතු කළ බැවින් තේ මිල නැවත ඉහළ ගියේය.

1929 වන විට ලංකාවේ තේ බිම් අක්කර ලක්ෂ 4 ක් විය. මෙම තේ වතුවලින් 80% ක් යූරෝපීයයන් සතු විය. නුවරඑළිය, මහනුවර, බදුල්ල, යන දිස්ත‍්‍රික්කවල තේ වතුවලින් වැඩි කොටසක් ව්‍යාප්ත වී තිබුණි. 1825 දී තලවකැලේ තේ පර්යේෂණාගාරය පිහිටුවන ලදී.

20 වන ශත වර්ෂය ආරම්භයේ දී බොහෝ පෞද්ගලික තේ වතුසමාගම් බවට පත්වීම නිසා විදයම් අඩුවිය, කළමනාකරණය ක‍්‍රමවත් විය, ලාභය වැඩිවිය, එසේ වුවද අප‍්‍රිකානු රටවල් හා නැගෙනහිර ඉන්දියානු දූපත් ඇතුළු බොහෝ රටවල් අලූතෙන් තේ වගාව ආරම්භ කිරීම නිසා තේ වලට ලෝක වෙළඳපොළ දැඩි තරඟකාරීත්වයකට මුහුණ පෑමට සිදුවිය.

1972 දී ඉඩම් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියෙන් පසු ලංකාවේ තේ වතු විශාල වශයෙන් විනාශ වී ගිය අතර වර්තමානයේ තුඩා තේ වතු වලට වැදගත් ස්ථානයක් ලැබී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017