බෞද්ධ පුනරුදය
 

මේ සඳහා පදනම වැටුනේ වැටිවිට ශ‍්‍රි සරණංකර සංඝරාජ හිමිපාණන්ගෙනි. උන්වහන්සේ තම ගෝලයන් සමඟ මුහුදුබඩ ප‍්‍රදේශවල බෞද්ධගාගමික කටයුතු දියුණු කරමින් බෞද්ධ අධ්‍යාපනය නැංවීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළහ.

1839 දී වලානේ ශ‍්‍රි සිද්ධාර්ථ හිමියන් රත්මලානේ පරම ධම්ම චේතිය විහාරය මුල් කරගෙන ආරම්භ කළ බෞද්ධ අධ්‍යාපනය පසුකාලීනව බෞද්ධ ප‍්‍රබෝධයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. 1873 හික්කඩුවේ ශ‍්‍රි සුමංගල හිමියන් විසින් මාලිගා කන්දේ විහාරය පිරිවෙණ ද රත්මනාලේ ධර්මාලෝක හිමියන් විසින් 1875 දී පෑලියාගොඩ විද්‍යාලංකාර පිරිවෙණ ද ආරම්භ කරනු ලැබීම නිසා මෙරට බෞද්ධ අධ්‍යාපනයේ නව ප‍්‍රබෝධයක් ඇතිවිය.

ඒ වන විට පැවති සියම් හා අමරපුර යන බෞද්ධ නිකායන් දෙකෙහි ප‍්‍රතිපත්ති පිළි නොගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා අගෞරව කිරීමට උත්සහා කළ නිසා භික්ෂූන් වහන්සේලා බෞද්ධාගමික කරුණු පිළිබඳව ප‍්‍රසිද්ධ වාද විවාද වලට එන ලෙස ක‍්‍රිස්තියානීන්ට අභියෝග කළහ.

 

එ‍සේ පැවැත්වූ වාද අතුරින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයනේ 1873 දී පවත්වන ලද පානදුරා වාදය ඉතා වැදගත් විය. මෙහිදී ක‍්‍රිස්තියානි පූජකයන් ඉදිරිපත් කළ තර්ක සාර්ථක ලෙස බිඳ හෙලීමට බෞද්ධ භික්ෂුන් වහන්සේලාට හැකි විය.

 

 

 

 

 

 


1880 දී ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලංකාවට පැමිණියේ ඉහත කී වාද විවාද පිළිබඳ විස්තර පුවත්පත් මඟින් දැන ගැනීමෙනි. ඔහු සමඟ රුසියානු ජාතික බ්ලැවට්ස්කි මැතිනියද පැමිණියාය. මේ දෙදෙනාගේ මූලිකත්වයෙන් 1880 දී බෞද්ධ පරම විඥානාර්ථ සමාගම පිහිටුවීමෙන් පසු බෞද්ධ පුනරුදය වඩාත් පැහැදිලි අරමුණු ඔස්සේ සාර්ථකව ක‍්‍රියාත්මක විය.

පරම විඥානාර්ථ සමාගමේ මූලිකත්වයෙන් බෞද්ධ දරුවනට ඉංග‍්‍රිසි අධ්‍යාපනය ලබාදීමේ වැඩ පිළිවෙලක් ආරම්භ විය. 1886 දී පිටකොටුවේ බෞද්ධ ඉංග‍්‍රිසි පාසල ආරම්භ වූයේ එම වැඩපිළේු මුල් පියවර වශයෙනි. එය පසුව කොළඹ ආනන්ද විද්‍යාලය ලෙස නම් කෙරුණි.

 

බෞද්ධ ඉංග‍්‍රිසි පාසල්වල සිංහල, පාලි, සංස්කෘත වැනි සාම්ප‍්‍රදායික විෂයයන්ට අමතරව ඉංග‍්‍රිසි භාෂාව හා සාහිත්‍යය, විද්‍යාව, ගණිතය, වැනි විෂයයන්ද උගන්වන ලදී. 1900 වන විට ලංකාවේ බෞද්ධ පාසල් සංඛ්‍යාව 142 ක් විය.


 

පරම විඥානාර්ථ සමාගම මඟින් පළ කෙරුණු "ද බුඩිස්ට්" සඟරාව සහ සරසවි සඳරැස් පුවත්පත බෞද්ධයන් අතර නව ප‍්‍රබෝධයක් ඇති කිරීමට සමත් විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස 1885 දී බෞද්ධ කොඩිය සකස් වූ අතර වෙසක් පෝය රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ගැනීමට ද හැකි විය.




ඕල්කට් තුමාගේ අනුගමිකයෙකු වූ අනගාරික ධර්මපාල තුමා විදේශාධිපත්‍යය නිසා පිරිහී ගිය ජාතික අභිමානය යළි පණ ගැන්වීමටත් ජාතික හැඟීම් ඉස්මතු කරලීමටත් දැඩි ලෙස කැපවී කටයුතු කළේය. ඉන්දියාවේ බුද්ධගයාව ඇතුළු ශ්‍රේෂ්ඨ පූජනීය ස්ථාන නැවත බෞද්ධයන් වෙත පවරා ගැනීමට කටයුතු කිරීම හා විදේශයන්හි බුදු දහම ප‍්‍රචාරය කිරීමට කටයුතු කිරීම එතුමාගෙන් සිදුවූ විශාල මෙහෙයකි.

1891 දී ධර්මපාල තුමා ආරම්භ කළ මහා බෝධි සමාගම ත් 1898 දී ඞී. බී. ජයතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ කොළඹ තරුණ බෞද්ධ සංගමයත් බෞද්ධ පුනරුදය ඉදිරියට ගෙන යාමට ඉවහල් වූ ප‍්‍රබල සංවිධාන දෙකකි.




බෞද්ධ පුනරුදයේ ප‍්‍රතිඵල
1. අනුරාධපුරයේ ථූපාරාමය ඇතුලූ බොහෝ සිද්ධස්ථානවල ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වීම.
2. පැරණි සිංහල, පාලි හා සංස්කෘත ග‍්‍රන්ථ නැවත මුද්‍රණය කරවීම හා ඒවා පාසල්වල ඉගැන්වීම ආැරම්භ වීම.
3. සිංහල පුවත්පත් හා සඟරා බිහිවීම.
4. ඉතිහාසය හා ආගමට සම්බන්ධ කතා පුවත් නාට්‍ය මඟින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම.
5. වෙසක් පොහොය, පොසොන් පොහොය ඇසළ පොහොය වැනි වැදගත් ආගමික දිනවල පෙරහැර පැවැත්වීම යළි ආරම්භ විය.

හික්කඩුවේ ශ‍්‍රි සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් ලංකාලෝකය පුවත්පතද , සුදර්ශනය, බෞද්ධ විහාරය, සුමති සංග‍්‍රහ යන සඟරා ආරම්භ විය. පියදාස සිරිසේන මහතා "සිංහල ජාතිය" පුවත්පත ආරම්භ කළේ ය. මේ මගින් සිංහලයන් තුළ සංස්කෘතික නවෝදයක් ඇති විය.

කොළඹ තරුණ බෞද්ධ සමිතියේ මෙහෙයවීමෙන් ලංකාව පුරා ඉරුදින දහම් පාසැල් ආරම්භ විය. බෞද්ධ සංස්කෘතික පුනරුදය රට පුරා ව්‍යාප්ත වීම ඒ මඟින් සිදුවිය.

මුලින් සඳහන් කළ අමද්‍යප ව්‍යාපාරය මගින්ද දේශීය සංස්කෘතිය නගා සිටුවීම සඳහා විශාල මෙහෙයක් ඉටුවිය.

 

 

 

 

 

 

 

 

 

 

 

 



 ඔල්කට් තුමා හික්කඩුවේ සුමංගල හිමි සමග

 

 

 අනගාරික ධර්මපාල තුමා


 

(c) Shilpa Sayura Foundation 2006-2017