ආගමික පුනරුදය
 

බි‍්‍රතාන්‍ය පාලනයේ මුල් අවධියේ සිටම මිෂනාරි සමාගම් විසින් ආරම්භ කරන ලද පාසල්වල ක‍්‍රිස්තියානි ආගම ප‍්‍රචාරය කිරීම සඳහා ක‍්‍රිස්තු ධර්මය අඩංගු පොත්පත් සිංහල හා දෙමළ බසට පරිවර්තනය කර බෙදා දෙන ලැබීය.

මෙරට බෞද්ධ මධ්‍යස්ථාන මුල් කරගෙන පැවැති දේශීය අධ්‍යාපනය මිෂනාරි පාසල් නිසා වේගයෙන් පරිහානියට පත්විය. මිෂනාරි පාසල්වල ඉගෙන ගැනීම උසස් රැකියා හා විවිධ වරප‍්‍රසාද ලැබීමට හේතුවීම නිසා බෞද්ධ හා හින්දු ජනයා තම දරුවන් එම ආයතනවලට යැවීමට උනන්දු වූහ.

මිෂනාරි සමාගම් අතර පැවති තරගය නිසා කි‍්‍රස්තියානි පාසල් සංඛ්‍යාද වේගයෙන් ඉහළ ගියේ ය. කොල්බෲක් කොමිසම මගින් මිෂනාරි පාසල්වල ඉංගී‍්‍රසි බසින් ඉගැන්වීම ප‍්‍රතිපත්තියක් ලෙස නිර්දේශ කළේය. මේ අනුව ඉංගී‍්‍රසි අධ්‍යාපනය දෙන ප‍්‍රධාන පෙළේ කි‍්‍රස්තියානි පාසල් රාශියක් නගර ආශි‍්‍රතව බිහිවිය.

මිෂනාරි අධ්‍යාපනය නිසා බෞද්ධාගම මහත් අනතුරකට පත්විය. බෞද්ධයන් ප‍්‍රතිමා වන්දනා කරන මෝඩයන් ලෙසත් සිංහල බෞද්ධ සිරිත් කි‍්‍රස්තියානි සිරිත්වලට වඩා ඉතා පහත් කොට හුවා දක්වන ලද නිසාත් දේශීය සංස්කෘතියට විශාල තර්ජනයක් එල්ල විය.

බෞද්ධයන්ගේ සහනශීලී ප‍්‍රතිපත්තිය නිසා කි‍්‍රස්තියානි ආගම ප‍්‍රචාරය ආරම්භයේදී විරෝධතා එල්ල නොවීය. බෞද්ධ භික්ෂූන් වහන්සේ කි‍්‍රස්තියානි පුජකයන්ට නවාතැන් පහසුකම් සපයා දෙමින් බයිබලය සිංහලයට පෙරලීමට පවා උදව් කළහ. එහෙත් කි‍්‍රස්තියානීන් උත්සාහ කළේ බෞද්ධ හා හින්දු ආගම් විනාශ කිරීමටයි. මේ නිසා 1860 ගණන් වන විට බෞද්ධ හා හින්දු දෙපිරිසම තම අයිතිවාසිකම් රැක ගැනීමට හා සංස්කෘතිය නඟා සිටුවීමට විවිධ ව්‍යාපාර ආරම්භ කළහ.

(c) Shilpa Sayura Foundation 2006-2017