1818 උඩරට කැරැල‍්ල
 

උඩරට ගිවිසුමට අනුව උඩරැටියන් බලාපොරොත්තු වු පරිදි රජු එළවා දමා සුදුස්සෙකුට රජකම ලබාදීම ඉංග‍්‍රීසින්ගෙන් ඉටු නොවීම නිසා ජනතාවගේ විරෝධය ඉංග‍්‍රීසින් වෙත එල්ල විය. උඩරට ප‍්‍රභූන්ට ඉංග‍්‍රිසි නිලධාරින් යටතේ කටයුතු කිරිමට සිදුවීම නිසා රදළයන්ගේ බලතල හා වරප‍්‍රසාද අඩුවීමද සිදුවුණි.

ඉංග‍්‍රිසින් කඩවත් බදු අහෝසි කළ නිසා රදළයන්ගේ ආදායම් මාර්ගයන්ද අවහිර විය. බුදු සසුන හා සංඝයා වහන්සේලා ආරක්ෂා කරන බවට ගිවසුමේ දී තිබුණ පොරොන්දු එලෙසම ක‍්‍රියාත්මක නොවිම නිසා මහා සංඝයා වහන්සේ ද කලකිරීමට පත්වූහ. බි‍්‍රතාන්‍ය පාලනය හේතුකොට ලෙන උඩරට ජනතාව අතර වර්ධනය වූ අප‍්‍රසාදය නිදහස් අරගලයක් ලෙස වෙල්ලස්ස ප‍්‍රදේශයෙන් මතුවිය.

මෙම කැරැල්ලට ආසන්න හේතුව වූයේ වෙල්ලස්ස ප‍්‍රදේශයේ සිටි මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් වෙනම මුස්ලිම් මුහන්දිරම්වරයෙකු පත් කිරීමය. මෙය සිංහල දිසාවේට කළ මදිපුංචිතමක් මෙන්ම ඔහුගේ බලය නොතකා හැරීමක්ද විය. මුස්ලිම් මුහන්දිරම් කෙරෙහි රදළයන්ගේ මෙන්ම සාමාන්‍ය ජනයාගේද දැඩි විරෝධය එල්ල විය.

මේ අතර 1817 වර්ෂයේ උඩරට රජකමට හිමිකම් කියන දොරේසාමි නැමැත්තෙකු වෙල්ලස්ස ප‍්‍රදේශයේ සැරිසරන බවට ඉංග‍්‍රීසින්ට ලැබුණු ඔත්තුවක් අනුව ඔහු අල්ලා ගැණිමට හජ්ජි මරික්කාර නම් වු ඉහත කී මුස්ලිම් මුහන්දිරම් හා බදුල්ලේ උප ඒජන්ත වූ සිල්වෙස්ටර් විල්සන් එහි ගියේය. කුපිත වි සිටි සිංහලයෝ මෙ දෙනොම මරා දැමූහ.

ඉන්පසුව කැරැල්ල ඇවීලි ගියේය. එයව මැඩළිමට යැවු ඉංග‍්‍රීසි සේනාව ගම්බම් ගිනි තබමින් සිංහලයන්ට වෙඩි තබමින් මහා විනාශයක් සිදුකළ බැවින් උඩරට ප‍්‍රදේශය පුරාම කැරැල්ල පැතිරි ගියේය. දළදා වහන්සේද කැරලිකරුවන් අතට පත්විය. කැරැල්ල මැඩළිමට යෑවු කැප්පෙටිපොළ දිසාවෙ කැරැල්ලේ නායකත්වය ගැනිමද ඉංග‍්‍රිසින්ට සිදුවූ මහත් අවාසියක් විය.

කැරැලිකරුවන් විසින් දොරේසාමි උඩරට රජු ලෙස අභිෂේක කළ අතර අභිනව රජු විසින් වැල්ලවායේ රාජ සභාවක් පවත්වා කැප්පෙටිපොළ වෙත මහාධිකාරම් ධූරය පිරිනැමීය.

තුන්කෝරළය, හතර කෝරළය, උඩුනුවර, හා සබරගමුව යන උඩරට සෑම ප‍්‍රදේශයකම කැරැුල්ල පැතීරී ගියේය. ඉංග‍්‍රීසින් විසින් මෙම ප‍්‍රදේශවල "මාර්ෂල් ලෝ" නමැති යුද්ධ නීතිය පැනවන ලදී. එසේ වුවද සිංහලයෝ ගරිල්ලා සටන් මඟින් ඉංග‍්‍රීසි හමුදාවන්ට බරපතල හානි සිදු කළහ.

අවසනායේ ඉංග‍්‍රීසින්ට වාසිදායක හේතු කීපයක් මත කැරැල්ල අසාර්ථක විය. ඊට හේතු වූයේ

1. අරගලය මනාව සංවිධානය වූ එකක් නොවීය. මෙය තැන තැන ඇතිවූ හුදකලා සටන් කීපයක් පමණක් වීය.

2. කැරලි නායකයන් අතර එකමුතු බවත් නොවීය.

3. මොල්ලිගොඩ මහාධිකාරම් නිතරම ඉංග‍්‍රිසින්ට පක්ෂපාතීව සිටීම. ඔහු යටතේ වූ තුන් කෝරළය හා හතර කෝරළය හරහා උඩරටට අවි ආයුධ ගෙන ඒමට ඉංග‍්‍රීසින්ට හැකිවිය.

4. ඉංග‍්‍රීසින්ගේ දැඩි මර්දනකාරී ප‍්‍රතිපත්තිය නිසා සාමාන්‍ය ජනයා දැඩි දුෂ්කරතාවයකට පත්වීම.

5. දෝරේසාමි රාජ වංශිකයෙකු නොව විල්බාවේ සාමාන්‍ය වැසියෙකු බව හෙළිවීම නිසා කැරැලිකරුවන් අධෛර්යට පත්වීම.

6. දළදා වහන්සේ ඉංග‍්‍රීසින් අතට පත්වීම නිසා පාරම්පරික විශ්වාසය අනුව දළදාව හිමිකරුට රටේ රජකම හිමිවන බව සාමාන්‍ය ජනයාගේ පිළිගැනීම මතද සටන් ව්‍යාපාරය අඩපණ විය.

කැරැල්ල මැඩලීමෙන් පසු ඉංග‍්‍රීිසි ආණ්ඩුව කැප්පෙටිපොළ හා මඩුගල්ලේ යන වීර නායකයන් දොනොගේ හිස ගසා දැමූහ. සෙසු කැරලි නායකයන්ද රටින් පිටුවහල් කරන ලදී.

කැරැල්ල ජය ගැනීමෙන් පසු ඉංග‍්‍රිසි ආණ්ඩුව 1818 ප‍්‍රකාශය නිකුත් කළේ ය. ඒ අනුව,

1. උඩරට දේශීය නිලධාරින්ට මහජනයාගෙන් දැකුම් හා පඬු‍ෂුරු ලබා ගැනීම තහනම් විය. ඔවුන්ගේ රාජකාරි සඳහා වැටුපක් ගෙවීමට තීරණය විය.


2. සුළු මුලාදෑනීන් පත් කිරීමට දේශීය නිලධාරින්ට තිබුණු බලය අහෝසි කර දැමිණ.

3. ආණ්ඩුකරුගේ අවසරය මත උඩරට ප‍්‍රදේශයේ වෙනත් ආගම් ප‍්‍රචාරය කිරීමට හා අන්‍ය ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමටත් අවසරය ලැබුණි. මෙය 1815 ගිවිසුමේ පොරොන්දු දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි.

1818 ප‍්‍රකාශයෙන් සිංහල ජනතාව හා රදළ ප‍්‍රධානීන් අතර වූ බැඳීම බිඳ දැමුණු අතර එමගින් බි‍්‍රතාන්‍ය ආධිපත්‍යය නියත වශයෙන්ම උඩරට ප‍්‍රදේශවල තහවුරු විය.

උඩරට පැවැති හුදකලා බව නැති කිරීමෙන් පාලන පහසුව හා 1818 උදාවූ තත්ත්වය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා කොළඹ හා උඩරට ප‍්‍රදේශ යා කරමින් මාර්ග පද්ධතියක් ඉදිකිරිමේ අවශ්‍යතාව ඉංග‍්‍රිසින්ට දැනුණි. මෙම අදහස සාර්ථක ක‍්‍රියාවට නැංවීමට එඞ්වර්ඞ් බාන්ස් (1824 - 1831) ආණ්ඩුකරුට හැකිවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017