ලංකාවේ බ්‍රිතාන්‍ය - මදුරාසි පාලනය
 

ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ ඉංග‍්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ පාලනය යටතට පත්වීමෙන් පසු ලංකාවේ යුද්ධ කටයුතු සඳහා ගිය වියදම හැකි ඉක්මනින් පියවා ගැනීම ඉංගී‍්‍රසියෙන් බලාපොරොත්තුව විය. යුරෝපයේ දේශපාලන තත්ත්වය අනුව තමන් අල්ලා ගත් ප‍්‍රදේශ නැවත ඕලන්දයට බාර දීමට සිදුවනු ඇතැයි යන සැකයද ඉංගී‍්‍රසින් තුළ තිබුණි. මේ අනුව වෙළඳ සමාගමේ පෙරදිග මූලස්ථානය වු මදුරාසියේ කි‍්‍රයාත්මක වු පාලන ක‍්‍රමය අනුව ලංකාවද පාලනය කිරීමට තීරණය විය.

ඒ අනුව ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ කොටස් තුනකට බෙදා එක් එක් කොටස භාරව ඉංගී‍්‍රසි නිලධාරියෙකු බැගින් පත් කරන ලදි. එම නිලධාරීන්ගෙන් කාර්යාල "කච්චේරි" යනුවෙන් නම් කෙරිණි.

මදුරාසියේ පැවැති බදු ක‍්‍රමය මෙහි කි‍්‍රයාත්මක වූ අතර, ඉංගී‍්‍රසි නිලධාරියාගේ සහාය "අවුමිල්දාර්" නම් වු මදුරාසි නිලධාරීන් පිරිසක් ද වූහ. බදු එකතු කිරීමේ අයිතිය වෙන්දේසියේ විකුණා දැමූ අතර එම අයිතිය ලබා ගත්තේ අවුමිල්දාර්වරුන්ය. මොවුහු රජයට ගෙවූ මුදලට අමතරව තමාටද විශාල ලාභයක් ලබා ගැනිම සඳහා ජනතාවටද තාඩන පීඩන කොට බදු එකතු කරන්නට පටන් ගත්හ.

මෙම බදු ප‍්‍රතිපත්තිය දේශීය ජනතාවගේ මහත් අප‍්‍රසාදයට හේතු විය. ඉංගී‍්‍රසීන් බදු අය කළේ මුදලින් පමණි. ද්‍රව්‍ය වලින් බදු ගෙවිමට හුරු වී සිටි මෙරට ජනතාවට එය මහත් පීඩාවක් විය. අලූත් බදු වර්ග කීපයක්ද පැනවුණි. පොල් ගස් බද්ද ඉන් එකකි. පොල් ගසකින් පනමක්ද ගස් පනහකට වැඩි නම් පනම් දෙකක්ද අය කෙරිණි. මේ හැර මාළු, අරක්කු, ලූණු, දුම්කොළ, රා ආදියෙන් ද බදු අය කෙරුණි. මේ අසාධාරණය පිළිබඳව ඉංග්‍රීසි පාලකයන්ට කරුණු ඉදිරිපත් කළත් ප‍්‍රයෝජනයක් නොවීය.

බදු බරින් පීඩාවට පත් ජනතාව 1797 දී මදුරාසි පාලනයට විරුද්ධව මහා කැරැල්ලත් ඇති කළහ. වසරක් පුරා මෙම කැරැල්ල පවතුන අතර එය මැඩ පැවැත්වීම ඉංග‍්‍රීසින්ට දුෂ්කර විය.

මෙම කැරැල්ල හේතු සොයා බැලීම සඳහා මදුරාසි ආණ්ඩුකරු විසින් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කර ලංකාවට එවන ලදී. එහි ප‍්‍රධානියා වූ කර්නල් ද මියුරන් ගේ නමින් එය "මියුරන් කොමිසම" යනුවෙන් නම් කෙරුණි.

මියුරන් කමිටුවේ යෝජනා
1. බදු වෙන්දේසියේ විකිණීමේ ක‍්‍රමය අහෝසි කිරීම.
2. අලූතින් පනවන ලද බදු සියල්ල අවලංගු කිරීම.
3. බදු එකතු කිරීම සඳහා දේශීය නිලධාරීන් පත්කිරීම.
4. ලන්දේසින් යටතේ ක‍්‍රියාත්මක වූ ඉඩම් අධිකරණ ක‍්‍රමය නැවත ක‍්‍රියාත්මක කිරීම.

ද්විත්ව පාලන සමය (1798 - 1802)

මේ කාලය තුළ ලංකාවේ සිවිල් පාලනය හා යුද්ධ කටයුතු බි‍්‍රතාන්‍ය රජය මගින් පත්කළ ආණ්ඩාකාරයෙක් යටතේ සහ වෙළඳ කටයුතු වෙළඳ සමාගම යටතේ සිදුවිය. බි‍්‍රතාන්‍ය රජය සිවිල් හා යුද්ධ කටයුතු තමා වෙත පවරා ගත්තේ ප‍්‍රංශ ජාතිකයන්ගේ නාවුක බලය හමුවේ ඉංග‍්‍රිසි වෙළඳ සමාගම පරාජය වුවහොත් ප‍්‍රංශ ජාතිකයන්ට මෙරට මුහුදුබඩ ප‍්‍රදේශවල අයිතිය හිමිවන බැවින් එය වැළැක්වීම සඳහා ය.

1798 දී ලංකාවේ ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ආණුඩාකාරයා ලෙස පෙඩි‍්‍රක් නෝත් පත්වී ආවේය. බි‍්‍රතාන්‍ය රජයේ සහ වෙළඳ සමාගමේ නිලධාරීන් යන දෙකොටසම ඔහු යටතේ වූහ. ඔවුනොවුන් අතර අනෝන්‍ය සහයෝගයක් නොවීය. සමාගමේ නිලධාරීන් ලාභ උපයා ගැනීම සඳහා වංක ලෙස කටයුතු කළ අතර බි‍්‍රතාන්‍ය රජයේ නිලධාරිහු දේශීය පාලන ක‍්‍රමය හෝ දේශීය සිරිත් විරිත් ගැන අවබෝධයක් නැති ආකාර්යක්ෂම පිරිසක් වූහ. මේ හේතු නිසා ද්විත්ව පාලන ක‍්‍රමය අසාර්ථක විය.

1802 දී ලංකාවේ මුහුදුබඩ පළාත්වල සියලූම කටයුතු බි‍්‍රතාන්‍ය රජය යටතේ පත් කර ගන්නා ලදී, ඉන්පසු ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් විය. ඒ අනුව සිවිල්, හමුදා හා වෙළඳ කටයුතු සියල්ල ආණ්ඩුකාරයාගේ පාලනය යටතට පත්විය. ආණ්ඩුකරු ලෙස තවදුරටත් පෙඩි‍්‍රක් නෝර්ත් කටයුතු කළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017