ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග‍්‍රීසින් සතුවීම
 

ඉංග‍්‍රීසින් නැවත ලංකාව කෙරෙහි අවධානය යොමු කළේ අවුරුදු 21 කට පමණ පසුවය. 1792 දී ප‍්‍රංශය විසින් ඕලන්දය ආක‍්‍රමණය කරන ලදී. ඕලන්දයේ විලියම් රජු එංගලන්තයට පැන ගියේය. මේ අවස්ථාවේ ප‍්‍රයෝජන ගත් බි‍්‍රතාන්‍ය රජය පෙරදිග ලන්දෙසි ප‍්‍රදේශ ප‍්‍රංශ ජාතිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා එම රටවලට ඉංග‍්‍රිසි හමුදාව ඇතුල් කරගන්නා ලෙස ඉල්ලමින් විලියම් කුමරුගේ අත්සනින් යුත් ලිපියක් ලබාගෙන පෙරදිග ලන්දෙසි ප‍්‍රදේශ භාරව කටයුකු කළ ආණ්ඩුකාරවරුන් වෙත යැවීය. මෙම ලිපිය එංගලන්තයේ කියු මාලිගයේදී අත්සන් කළ බැවින් "කියු ලිපිය" නිමින් ප‍්‍රසිද්ධ විය.

මෙම ලිපියට අනුව ලංකාවේ ලන්දේසි ප‍්‍රදේශ තමාට භාර දෙන ලෙස ඉංග‍්‍රීසින් විසින් එවකට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාර ඇංගල් බෙක්ට දන්වන ලදී. ඔහු එයට අකමැති වූ නිසා ඉංග‍්‍රිසි හමුදාව 1795 අගෝස්තු මාසයේදී ත‍්‍රිකුණාමලය වරායට පහර දී එය අල්ලා ගත්හ. ඉන්පසු පිළිවෙලින් යාපනය, මන්නාරම, හා කල්පිටිය ද, 1796 ජනවාරි මාසයේ කොළඹ වරායද අල්ලා ගත්හ.

1796 පෙබරවාරි 16 වෙනි දින ලන්දේසින් සතුව ලංකාවේ පැවැති සියලූම ප‍්‍රදේශ ඉංග‍්‍රිසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට පවරා දුන් බවට ගිවිසුමක් අත්සන් කිරීමට ඇංගල් බෙක් ආණ්ඩුකරුට සිදුවිය. මේ අනුව අවුරුදු 158 ක් පමණ ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශවල පැවැති ලන්දෙසි පාලනය අවසන් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017