ඉඩම් බුක්තිය :
රටේ සියලූම ඉඩම් රජු සතු විය. එකල සමාජ සබඳතා හා සිරිත් විරිත් බොහොමයක් ඉඩම් බුක්තිය මත පදනම් වී තිබුණි. බුක්තිය හා අයිතිය අනුව ඉඩම් වර්ග කීපයක් විය.
ගබඩාගම් :
රජ මාලිගයේ ප‍්‍රයෝජනය සඳහා වෙන්වූ විශේෂ ඉඩම්ය. මේවායේ පදිංචිකරුවන් ඉඩම් වගා කොට රජු විසින් නියම කරන ලද කොඩස රජ වාසලට දිය යුතු විය.
නින්දගම් :
අදිකාරම්, දිසාවේ, රටේරාල වැනි ඉහළ නිලතල දැරූ අයට ප‍්‍රදානය කළ ඉඩම්ය. සන්නස් හෝ තුඩපත් මඟින් ලියවා දී තිබුණි. මෙම ඉඩම් ගම් වශයෙන් හෝ ඉඩම් කට්ටි ලෙස ප‍්‍රදානය කර ඇත. පරම්පරාවෙන් පරම්පරාවට ප‍්‍රයෝජන ගැනීම සඳහා දී තිබූ ඉඩම් පරවේණි නින්දගම් විය. ඉඩම් වගා කළ අය නියමිත කොටස ප‍්‍රභූවරයාට දිය යුතු විය.
විහාර හා දේවාල ගම් :
විහාර හා දේවාලවල නඩත්තු සදහා රජතුමා විසින් පවරා දී තිබුණු ඉඩම්ය. අද පවා මාලියාවෙල, දෙයියන්නේවෙල ආදී නම් භාවිත වේ. මෙම ඉඩම් අන්සතු කිරීම හෝ විකිණීම තහනම් විය. විහාර දේවාලවල "තේවාව" කළ අයට හා සාමාන්‍ය ජනයාට වලා කිරීම සඳහා මේ ඉඩම් පවරාදීම විහාර දේපොල භාර නිලධාරියා මඟින් සිදුවිය.
පරවේණි ඉඩම් :
සාමාන්‍ය ජනයා පරපුරෙන් පරපුරට බුක්ති විඳගෙන ආ ඉඩම්ය. මේවායේ අයිතිය වෙනස් කිරීමක් සිදු නොවීය. ඉඩම් බුක්ති විඳීම වෙනුවෙන් "රාජකාරිය" නම් වූ ප‍්‍රදේශයේ දියුණුවට අදාළ පොදු වැඩ සඳහා සතියකට නියමිත දින ගණනක් නොමිලේ සේවය කළ යුතු විය.
ප‍්‍රභූ නිවාස :
වරිච්චි යොදා සැකසූ බිත්ති සුණු පිරියම් කොට දොර ජනෙල් යොදා සිංහල උළු සෙවිලි කොට වඩුවන් හා පෙදරේරුවන් ලවා ගොඩනංවා ගත් නිවාස ප‍්‍රභූ නිවාස වේ. මේවායේ මුළුතැන්ගෙය හා නිදන කාමර දෙකක් හෝ තුනක්ද සාලයක්ද සහිත විය. ලන්දෙසි බලපෑම මත මැද මිදුල සහතව ඉදිවූ ප‍්‍රභූ නිවාසද විය. ධාන්‍ය ගබඩා කිරීම සඳහා වූ අටුවක් ද විය.
සාමාන්‍ය ජනයාගේ නිවාස :
ගැමි ජනයා විසින්ම අවට පරිසරයෙන් ලබාගත් ද්‍රව්‍ය මගින් ඉදිකර ගන්නා ලදී. බිත්ති කටු මැටියෙන් ද බිම ගොව මැටියෙන්ද සැකසී තිබුණි. වහලයට පිදුරු, මානා, හෝ ඉලූක් සෙවිලි කර තිබුණි. මේ නිවාසවල ප‍්‍රධාන අංගයක් වූයේ කොට්ට පිලය. මෙය ගෙයි ඉදිරිපස අඩි දෙකක් පමණ උසට මැටියෙන් තැනූ වේදිකාවකි.
නිවාස කුඩාවීම හා ගෘහ භාණ්ඩ නොමැති නිසා අමුත්තන් පැමිණි විට පිල මත පැදුරක් එලා වාඩිවීමට සල්වා දෙනු ලැබුණි. නිවස අසල ධාන්‍ය ගබඩා කිරිම සඳහා වී බිස්ස ක් සාදා තිබුණි. නිදන කාමර එකක් හා මඩුගෙය ගැමි නිවසකට දක්නට විය. මඩුගෙහි කොනක ආහාර පිසීම සිදුවිය. එසේ නැතහොත් උයන ගෙය නම් වූ කුඩා පැලක් නිවසට යාබදව සාදා තිබුණි.
