කොහොඹ
 














































කොහොඹ Azadirachta indica
පර්යාය නාමය Melia azadirachta
කුලය Meliaceae
සිංහල නාමය කොහොඹ Kohoba
සංස්‌කෘත නාමය නිම්භ Nimba
දෙමළ නාමය වෙම්බු Vembu / veppan
ඉංග්‍රීසි නාමය ඉන්දියන්ලිලක්‌ / මරගෝසානීම්බ් Indian Lilac / Margosa Neemb
හින්දි නාමය නිම්බ් Nimb
බෙංගාලි නාමය නිම් Nim
තෙලඟු නාමය වෙපේ Vepe






වැවෙන ස්‌ථාන :-


     දරුණු නියඟයකට වුවත් ඔරොත්තු දෙන කොහොඹ ශාකය ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සුලභව වැවෙන විශාල වෘක්‌ෂයකි. අඩි 45 කට (මීටර් 15) කට ආසන්න උසස්‌ පවතී. පේරාදෙනිය උද්භිද උද්‍යානය සහ වෙනත් විශේෂිත උද්‍යානයන්හි වවා ඇත.


ස්‌වභාවික ලක්‌ෂණ :-


     සිවු දිශාවටම ශාඛා ශාඛා විහිදී පවතී. කඳ සෘජුය. පොත්ත දුඹුරු පැහැතිය. පත්‍ර කිහිපයක්‌ එකට මුසුව පවතී. යුගල වශයෙන් පවතින ඒවා (පත්‍ර) ගණනින් 8ක්‌ හෝ 9කි. සෙ.මී. 7.5 පමණ දිගැතිය. හෙල්ලයක්‌ වැනිය. කුඩා මල් හට ගන්නේ අවුරුදු 2-3 වයස්‌ගත වූ විටය. ඒවා කිනිති වශයෙන් පවතී. සුදුය. මීපැණි වලින් නිකුත් වන සුවඳට සමාන සුවඳක්‌ පිටවේ. පෙති 5කි. ඒවාට සමාන්තරව මනි පත්‍ර ද 5ක්‌ පිහිටා ඇත. ළපටි කාලයේ කොළ පැහැති ගෙඩි ඉදුණ විට කහ පැහැතිය. එම ඵලයෝ හට ගන්නේ අවුරුදු 3-4 අතරය. එක මලකින් හට ගන්නේ එක ගෙඩියකි. ඒ වසරකට වරක්‌ වශයෙනි. එහෙත් සමහර තෙත් ප්‍රදේශවල දී වසරකට දෙවතාවක්‌ ද ඵල හටගන්නා අවස්‌ථා ඇත.


වෙනත් විස්‌තර :-


    සෞඛ්‍ය තත්ත්වය යහපත්ව ආරක්‌ෂාකාර ගැන්ම සඳහා පැරැණි සිංහලයා කොහොඹ ගසක්‌ තම නිවස අසළ රෝපණය කර ගැන්ම සිරිතක්‌ වශයෙන් කරගෙන ගොස්‌ ඇත. එම පුරුද්දට සිංගලයා එසේ පෙළඹී ඇත්තේ වෘක්‍ෂායුවේද ග්‍රන්ථයන්හි සඳහන් ශ්‍රේෂ්ඨ උපදෙස්‌වලට ඔවුන් ඉතා ගරු කළ හෙයින් විය යුතුය. පහත සඳහන් ශ්ලෝකයෙන් ඒ සනාථ වේ.


"අරිෂ්ටා ශොක පුන්නාග ශිර්ෂාං සප්‍රියංගවං
 මංගල්‍යා පූර්මාරාමේ රොපනීයං ශෘහේෂුවා"


මෙහි අරිෂ්ටා යනුවෙන් හදුන්වන්නේ කොහොඹ ගසයි.


කොහොඹ බීජයේ මදයෙන් හෙවත් භ්‍රෑණ පෝෂණයෙන් ලබාගන්නා වූ ප්‍රධාන රසායන සංයෝග තුනකි.
1. මෙලියැන්ට්‍රීයෝල්
2. සැලනීන්
3. ඇසඩ්රැක්‌ට්‍රීන්
                  ආදියයි ඒ.


මේවායින් ඵලදායි සංයෝගය වනුයේ ඇසඩ් රැක්‌ටීන්ය. එය ඉතා අනගි පළිබෝධ නාශකයක්‌ බව ඔප්පු වී ඇත. කොහොඹ ශාකයේ අඩංගු රසායනික වලින් කෘමිනාශක ද්‍රව අධික වශයෙන් නිපදවන රටක්‌ වශයෙන් පෙරමුණේම සිටින්නේ ඇමෙරිකාවය.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- මල්, පොතු, කොළ, නටු, ගෙඩි, මැලියම, තෙල්.


සුවකළ හැකි රෝග :- සාමාන්‍ය දුර්වලතා, කුෂ්ඨ අසාත්ත්‍යමිකතා, කෘමි රෝග, මූත්‍රාබාධ, සෙංගමාලය, අක්‌ෂි රෝග, ප්‍රමේහ, වණ.


සෙංගමාලය සහ හමේ රෝග වලට :- කොහොඹ කොළ යුෂට මීපැණි මිශ්‍රකර පානය කිරීම.


කෘමි රෝගවලට :- කොහොඹ කොළ යුෂට සහිඳලුණු මිශ්‍රකර දීම.


බාහිර අසාත්ත්‍යමිකතා ගඩු (තුවාල) සහ කැසීම් ආදියට :-  කොහොඹ කොළ යුෂ මිශ්‍ර නෙල්ලි ඉස්‌මට එළඟිතෙල් මිශ්‍රකර උදේ සවස දීම.                                                              


නිෂ්පාදිත ඔසු :-


1. පංච තිත්තක සෘතය
2. නිම්බාරිෂටය
3. නිම්බාදි චූර්ණය
4. නිම්බ සුරාසවය.

(c) Shilpa Sayura Foundation 2006-2017