නාට්‍ය පිටපතක් ලිවීමේ දී එය රචනා කරන්නේ කා සඳහා ද යන්න තීරණය කළ යුතුය. නාට්‍ය පිටපතක් යනු අනුකරණය කර පෙන්වීමකි. ඒ නිසා නාට්‍ය පිටපතක් ලිවිය යුතු වන්නේ කර පෙන්වීමට හැකිවන අයුරිනි. එසේ නම් නාට්‍ය පිටපතක් කර පෙන්වන්නේ කවුරුන්දැයි සිතිය යුතුය. එය කර පෙන්වන්නේ නළුවන්ය. වේදිකා නාට්‍යය ජීවමාන කලාවකි.
නාට්‍ය රචකයා පිටපතක් ලියයි. නිෂ්පාදකවරයෝ එය වේදිකාවට වඩාත් උචිත ලෙස ප්‍රේක්‌ෂකයාට වඩාත් ප්‍රියමනාප වන ලෙසට සකස් කරයි. නමුත් නාට්‍ය පිටපත කර පෙන්වන්නේ නළුවෝය. මේ නිසා නාට්‍ය පිටපතක් සකස් කිරීමේදී වේදිකාවේ මැවිය යුතු දර්ශනය මෙන්ම නළුවන් කළ යුතු දේද සඳහන් විය යුතුය. පිටපතක් ඉතා වැදගත් වන්නේ නළුවන්ටයි. නළුවන්ට නාට්‍ය තෙරුම් ගැනීමට නම් රංග විධාන අවශ්‍යයි. අප මෙය අවබෝධ කර ගැනීම සඳහා නරිබෑනා නාට්‍ය පිටපතේ ආරම්භක කොටස කියවමු.
(තිරය විවෘත කිරීමට ප්‍රථම රබානක් අතේ ඇතිව යාචක ස්‌වරූපයෙන් ගායකයෙක් පැමිණෙයි.)
"බොහෝ ඉස්‌සර අපේ ගම්වල සමාදානය සතුට තිබුණා.
බණ දහම් බෝ හොඳින් පිළිපැද මිනිස්‌සුන් හරි
හොදින් සිටියා" - නරිබෑනා
යනාදි වශයෙන් නාට්‍යය පිටපතෙහි ආරම්භයේ දැක්‌වෙයි. තිරය තවමත් විවෘත කර නැති බව, වේදිකාවේ ඉදිරි කොටසට යාචකයකුගේ ස්‌වරූපයෙන් ගායකයෙක් රබානක් අතේ රැගෙන පැමිණිය යුතු බව මෙහි දක්‌වා ඇත. නරිබෑනා නාට්‍යයේ පළමුවන ජවනිකාව ආරම්භ වනුයේ මින් පසුවයි. අපි දැන් එම කොටස මදක් විමසා බලමු. (ගීය අවසානයේදී තිරය විවෘත වේ. ගායකයා ඉවත්වේ. වේදිකාව තුළ කැලයක ස්‌වරූපය දිස්‌වේ. කනස්‌සලු ගතියක් දක්‌වන විලාසයකින් නරියෙක් පැමිණේ)
නරියා : මං මේ කැලේ ඉන්න නරියෙක්. වංශය බොහෝම උසස්. සිඟාල ගෝත්තරේ. ඒකට මොකද තවම පෙලවාසියක් කරගන්න බැරි උණා.
නාට්‍ය දඟ දැක්‌විය යුතු ආකාරය ද ඉහත දක්‌වා ඇති කොටසින් පෙනේ. සංවාද වලට අමතරව ඇති මේවා විධානයන්ය. විශේෂයෙන්ම "රංග විධාන" වශයෙන් හදුන්වන්නේ මෙසේ රඟපෑම සඳහා ලබා දී ඇති උපදෙස්‌ය. නාට්‍ය පිටපතක් ලිවීමේ දී තේමාව, කථාව, චරිත, දෙබස් ආදිය ගැන ද සැලකිලිමත් විය යුතුය.
නාට්‍ය පිටපතක් ලිවීමේ දී අපට අභිමත තේමාවක් යොදාගත හැකිය. එහෙත් ඇතැම් අවස්‌ථාවලදී (විශේෂයෙන්ම ඇතැම් තරග අවස්‌ථාවලදී) දෙන ලද තේමාවකට සරිලන නාට්‍ය පිටපතක් ලිවීමට ද සිදුවේ. නිදර්ශනයක් වශයෙන් "පරිසරය සුරකිමු" "සුනාමි විපතන් පසුව නැගිටිමු" වැනි තේමා පෙන්වා දීමට පුළුවන.
එවැනි අවස්‌ථාවක අප කළ යුතු වන්නේ තේමාවෙහි අදහස රසවත් ලෙස ප්‍රේක්‌ෂකයාට දිය හැකි ආකාරයේ අවස්‌ථාවක් හෝ කථාවක් නිර්මානය කර ගැනීමයි. නාට්‍ය කරුවා තම පණිවුඩය රසවත් ලෙස ප්‍රේක්‌ෂකයාට දුනහොත් ප්‍රේක්‌ෂකයා එය රස විදිනු ඇත. කෙලින්ම යමක් කියනවාට වඩා රසවත් අත්දැකීමක් මගින් දෙන පණිවුඩය ප්‍රේක්‌ෂක මනසට හිතකර වේ.
කෙසේ වෙතත් පළපුරුදු නාට්‍ය කරුවෝ තේමාවක් හෝ පණිවුඩයක් සිතේ තබාගෙනම නාට්‍ය පිටපතක් ලිවීම ආරම්භ කරන්නේ නැත. බොහෝ විට ඔවුන්ගේ නිර්මානයට කිසියම් සිදුවීමක් හෝ සිත්ගත් කතා පුවතක් හෝ පාදක වන්නට පුළුවන. නිර්මානය අවසානයේ ගැඹුරු සත්‍යයක්, ගැඹුරු දර්ශනයක් එහි අන්තර්ගතව තිබෙන්නට ද පුළුවන. එය තේමාව වශයෙන් මතුවන්නට ද පුළුවන.
නාට්‍ය පිටපතක් ලිවීමේදී ඉතාමත්ම වැදගත් වන්නේ එය වේදිකාව මත පෙන්විය හැකිද? යන්න සිතීමයි. මේ සඳහා රචකයා තම සිතින් නාට්‍ය දර්ශන මවාගත යුතුයි. ඒවා නරඹමින් නාට්‍ය පිටපත සකස් කළ යුතුයි. තමා ලියන නාට්‍ය පිටපත වේදිකාව මත සජීවි හා ස්‌වභාවික අවස්‌ථා වචන කර පෙන්විය හැකි නාට්‍යයක් වේද යන්න නිරන්තරයෙන් රචකයා සිතිය යුතුය.
නාට්‍ය පිටපතක් ලිවීමේ දී ඉතාමත් වැදගත් අංගය වන්නේ චරිත නිර්මානයයි. මෙහිදී ප්‍රේක්‌ෂකයන්ගේ සැලකිල්ලට භාජනය වන චරිත නිර්මානය කිරීම රචකයා මුහුණ දෙන අභියෝගයකි. රචකයා නිර්මානය කරන චරිත මනකල්පිත වුවද, සැබෑ වූවද ඒවා ජීවමාන බවින් යුක්‌ත විය යුතුය. එම චරිත හැසිරෙන ආකාරය, ඔවුන් කථා කරන වචන ජීවමාන වූ තරමට චරිත නිරූපනය සාර්ථක වේ. නළුවන්ට තමාට හිමි චරිතය හොඳින් "කර පෙන්වීමට" හැකි වට පිටාවක් පිටපතෙහි තිබිය යුතුය. නාට්‍ය පිටපත ලියන්නේ කා සඳහාද යන්න නිගමනය කළ පසු පිටපත් රචකයාට මේ කාර්යය පහසු වනු ඇත.
නාට්‍ය පිටපත් රචනයේ දී තවත් ඉතා වැදගත් කාර්යයක් වනුයේ සංවාද නිර්මානයයි. කථා සංයෝගය වැඩි දියුණු කිරීමට හා අභ්‍යන්තරයෙහි ඇති පැවතුම් තේරුම් ගැනීමටත්, ප්‍රේක්‌ෂක අවධානය රඳවා ගැනීමටත්, සංවාද හෙවත් දෙබස් දායක වේ. පිටපත් රචකයාට තමාගේ නාට්‍ය පිටපත සඳහා අවශ්‍යය වන්නේ කුමන ආකාරයේ දෙබස් රටාවක් දැයි තීරණය කළ යුතුය. නාට්‍ය පිටපතට අදාල වන කතා පුවත් හෝ සිදුවීම්, කුමන සමාජ තලයක් පිළිබිඹු කරන්නේ ද, කුමන යුගයක් පිළිබිඹු කරන්නේ ද තමා නාට්‍ය නිර්මානය කරන්නේ කුමන වයස් කාණ්‌ඩයක ප්‍රේක්‌ෂක පිරිසක් සඳහාද යනාදිය සංවාද රචනයේ දී සැලකිල්ලට ගත යුතු වන්නේ ද, එසේ වන්නේ සාර්ථක චරිතයක් නිර්මානය වීම සඳහා දෙබස් රටාව ඉතා වැදගත් වන බැවිනි.