පුන් සඳටම දිලෙන රන්තරුව පිරිවැරූ
දහම් දෙසති එකසිත් පහදා කුමරූ
මහන කළේ එවිගස රාහුල කුමරූ
සුද්දෝදන නිරිඳුට බණ වදාලා
ලද්ද සෝක ඇර දහමට සිත නැමිලා
වින්ද සැපත් හැර බිසවුන් මහණ වෙලා
සුද්ද ඇතිව සිල් රැක්‌කේ නැණින් බලා
කලක් මෙහෙම සිල් රැකලා යසෝදරා
තෙදක් පාමි දෙවි මිනිසුන්ගේ සැක හැරා
සුගක් බිසව් මහනට යති යසෝදරා
පලක් බැඳ එවැඩ උන්නේ යසෝදරා
පින්කල අයට කාටත් මෙහෙම සතහට
සුන්කර කෙලෙස් දුරුකරලා විගසකට
අහස පලක් බැඳ වැඩඋන්නා එවිට
රාහුල මාතාව මන්වද පළමු සිට
පිරිසිදු සිල් රකිමි අවසර රැගෙන සිට
නොහැරම කෙලෙස් දුරුකරලා විගසකට
සිරි සැපතට පැමුණුනි බිසව් හනිකට
පන්සිය පිරිනිවන් පෑවාය එමවිට
බැඳපු දාගැබක් ඒ දාතු පිහිටුවා
පිදු සැම දෙන එමකල් මල් වරුසාවා
සිදුහත් බුදුවෙලා පින්කඳ වරුසාවා
බුදුවී හස්‌තයෙන් සෑයට මල් පිදුවා
සකල සම්පත් හැරදමා ගොස් පැවිදිවූවා මෙහෙනි සස්‌නේ
සකල බවදුක් බින්දවා හැර රහත් වී බබලාවා සස්‌නේ
සකල නරඟන දෙවි බඹුන් ඈ පිරිස්‌හට දන්දෙමින් සෙනේ
සකල සැපතින් අග්‍ර නිවනට යන්ට අවසර ගෙන නොලස්‌නේ
ලැබූ තැන සිට නියත විවරණ බුදුවෙනා ලෙස මෙම කපේදී
යෙදුව තම ඡායාව විලසට නොහැර ආබැව් සැමතැනේදී
බුදුවූ තැන සිට වෙන්ඩ අවුදින් පළමු නිවනට යන තැනේදී
පුරුදු ඔබ ලැබූ නොයෙක් ඉර්දිය පාපු පෙරහැර පෑ තැනේදී
පැන නැගෙමින් සත්සමුදුර ජලය පිටට නොලසින්ඳා
වෙන් කිසියන් දෙයක් නොපෙනි මූද පුරා මසෙකු ලෙදා
දෙවි මිනිසුන් වෙස් පාමින් පෙළහැර මේලෙස වළඳා
යස එළදුන් යසෝදරා නිවන් පුරට ගියේ නොරඳා
නෙක නෙක ඉර්දි බල පාමින් මුනිඳුට පුදමින් පෙළහැර
දැක දැක මුනිඳුන්ට පෙනී අහසට වඩිමින් නෙකවර
දැක දුක නසිමින් නිවණට පැමිණුන උත්තම යසෝදර
එක එක මුවකින් ගුණකඳ කියනු කෙලෙසදෝ මෙවර