අහස පොළොව ලෙස හිමි සිහි කරඤ්ඤයි
රහත් වෙන්ට මම වෑයම් කරඤ්ඤයි
ඇසට දකින තුරු නවගුණ පුරවඤ්ඤයි
සත් දවසක් අඹ උයනේ වැඩ සිටලා
සත්වෙනිදා රජගහ නුවරට වැඩලා
පෙරත් බුදුන් කල දේ දිවසින් දැකලා
ගෙනත් අහර වැළඳුවේ ගංතෙරදි බලා
බින්සර රජුට අවසර දී වැඩම කලා
පළමුව බණ ඔබට දෙසමැයි වදාලා
උරුවෙල් දනව්වට බෝසත් වැඩම කලා
අවුරුදු සයක් එහි තපසේ වැඩ සිටලා
පුන්සඳ ලෙසට ඒ බුදු රුව වැඩුනු කලා
සුන්දර මරුන් බිඳ බුදුබවම නිකසලා
සුජාතාව දුන් කිරිපිඩු වැළඳු කලා
එරන් තලිය ඇරියා උඩු ගඟ ඉහලා
විත්තිය කිය කියා එන්නේ පළමු සිට
සොත්තිය බමුණු දුන්නේ කුස තණ එවිට
සිත් ලෙසටම ගෙනවැඩියේ බෝ මුලට
තුදුස් රියන් විදුරාසන දුටු නෙතට
පුරා දහම් සිහිකර මුනි වැඩ සිටලා
දරු වටකරට දෙවියෝ සැම මුර කරලා
පුරා මාර සෙනඟක් බෝමැඩ පිරිලා
ලොව්තුරා බුදුව දසබිම්බර බිඳලා
පන්දහසක් පවතින දහම් මෙලොවට
පින්කඳ පළමු බුදුවී ලොව බලා සිට
සුන්කර සැම සතන් සසරින් මුදන්නට
දම්සක් පැවසුවා මුනි රජ පළමු කොට
උතුම් මුනිදු සද දිවසින් බලා සිට
තුන් ගමනක් වැඩියේ මුනි පිළිවෙලට
පනසාලිස් අවුරුදු වැඩ සිටින්නට
සුදසුන් රජ නිසා වැඩියේය නුවරට
උතුම් නුවර දිවපුර ලෙස සරසාලා
පන්සියයක් රහතන් පිරිවරාලා
දහම් දෙසති නෑයන් හට වැඩමවලා
රන්වන් බුදු රැසින් සිය නුවර පටලලා
පරසිදු රිදී කඳයේ අගිරි හා බිසවි
සවනක් බුදු රැසින් සියොලඟ වෙලා බිසවි
පිරිවර සමඟ රන්ලිය වැල් ලෙසට බිසවි
සිරිපද පිට වැටිලා ඉඳ අඬති බිසවි