නිදි කුමරිය
 

නිදි කුමරිය කවි පෙළ කොළඹ යුගයේ දෙවන භාගයේ සිටි ප්‍රවීන කවියෙකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කවියාගේ නිර්මාණයකි. ඔහුගේ නිර්මාණ අතර අභිනන්දන ගී, වන්නමි, සංවාද ගී, ගුවන් විදුලි ගී, චිත්‍ර පට ගී, සිවි පද, දෑ අභිමාන පිළිබඳ කාව්‍ය, ළමා ගී, ගීත නාටක, ළමා ගීත නාටක, කෙටි කථා වැනි විවිධාකාර ඒවා විය. සරස්‌වතී අභිනන්දන ගීතය හා මහබෝ වන්නම ඔහුගේ නිර්මාණ කුසලතා මතුකොට විශිෂ්ටතම නිර්මාණ විය. පුවත්පත් කලාවෙදියෙකු ලෙසද ඔහු පසිදු විය.


'නිදි කුමරිය' කවි පෙළ තුළින් ඔහු සොබා දහමෙ අසිරිය විඳින ආකාරය මනාව ප්‍රකට කෙරේ. වැව, වෙල් යාය, රුප්පා, බඩ වැටි, හේන්, වන මල්, කුරුල්ලන් ආදී ජීවී අජීවි වස්‌තුන්ගෙන් අලංකෘත වූ සොබා දහම දිවා කාලයේ නෙතට සිතට නිතර හසුකර ගන්නා මෙ කවියා 'නිදි කුමාරි' කවිපෙළ තුළින් දකින්නේ රාත්‍රී කාළයේ දී පරිසර අසිරිය යි, චමත්කාරය යි.


රාත්‍රීයේ දී මුළු පරිසරය ම නිද්‍රාවට පත් වන අයුරු කවියා අපූර්වත්වයෙන් යුතු ව වර්ණනා කරයි. ඈත දිගන්තය, මහ කදු වැටි අසල, ගිරිකුළු හෙවන, තණපිටිය, වනාන්තරය, ජල තලාව ආදී සියළු තැන් නිදි කුමරියගේ පහස ලැබ සැනසිලි සුවය විඳී. රාත්‍රීය නිසල ය, සීතල ය, සැනසිලි විලකි. එහි ජල තලයේ රැඳි නැත. නිසසලය, විල මැද නිසොල්මනේ පිපි මහනෙල් මල ද නිදි කුමරියගේ පහස වැද රොන් කැටි ගැසී හැකිල ගියේ ය.


"මහනෙල් මල හැකිල ගියා
 ඇය ඉවතට ඇදී ගියා
 අහසට නැගුණා"


නිල්මිණි ගිරි කුළ ට උඩින් පාවෙන කළු වලා කඩින් නිදි කුමරිය පැන ගෙන එන්නී ය. නිදි කුමරිය සඳ එළියේ මල් ඉත්තේ සිටින ගිරවාට ද පිඹ නිදි කර වූවා ය. ගලවත්තේ සිටි මොනරාට ද නින්දක්‌ ලැබුණි.


"බළලා ලැග එළිපත්තේ
 නින්දක්‌ ඉල්ලා ගත්තේ
 පුරු පුරු කියලා"


බළලා ද පුරු පුරු ගාමින් එළිපත්ත මත සිට නිදයි. තෝර, නිදිකුමිබා පදුරු වලට ද පිඹ නිදි ගැන් වූ නිදි කුමරිය ඇවිදින විට, සළුව වැදීම නිසා ගහ කොළ ද නිද්‍රාවට පටන් ගති. සුළඟ ද නිසල විය. බොළඳ සිඟිති බබා හෙමින් හෙමින් සිඹිමින් අඩන්නට නොදී, ඔහුව ද නිදි කරවීමට නිදි කුමරිය අමතක නො කළා ය. මෙසේ රාත්‍රි කාලයේ දී සිය පරිසරය. ගහ කොළ සතා සීපාවා, සියළු දෙන කෙමෙන් නිසල ව නින්දට පත් වන ආකාරය ඉතා චමත්කාරජනක ලෙස කවියා දුටුවෙ ය. රෑ යාමයේ නිසල සඳ එළියේ ආනන්දනීය රාත්‍රියක පරිසරයේ සොදුරු නිසංසල සුවදායක බව පිළිබඳ චිත්ත රූප මවමින් රසවත් නිර්මාණයක්‌ කිරීමට කවියා සමත් වන බව පෙනේ.


මෙහි බස ඉතා සරල ය. සුගම ය. ගීතවත් ය. කෙටි ආකෘතියක්‌ තුළ වචන රස ඉපදවීමට කවියා සමත් ව ඇත. පරිසරයේ සෑම ඉසවිවක්‌ කෙරෙහි ම අවධානය යොමු කරන කවියා සියල්ල තුළින් දුටු චමත්කාරය අත්විඳීමට සහෘදයාට ද නො මසුරු ව ඉඩ සලසන්නේ විචිත්‍රාකාරයෙනි. සුමුදු වදන් වැලෙ හී, කවියා විඳි ආස්‌වාදය හා ආනන්දනීය හැඟීමි සහෘදයා ද නො අඩු ව අත් විඳී.


අභ්‍යාස
1. කවි පෙළ තාලානුකූලව ගායනා කරමින් රස විඳින්න.
2. කවි පෙළට වස්‌තු විෂය වූයේ කුමක්‌ ද ?
3. පරිසරයේ කවර ස්‌ථාන කවියාගේ අවධානයට ලක්‌විණි ද ?
4. සත්වයින්ට නිදි සුවය ලැබුණු අයුරු පහදන්න.
5. ගහ කොළ නිද්‍රාවට පත් වූයේ කෙසේ දැ යි ලියන්න.
6. ඇය සිඟිති දරුවා සැනසුවෙ කවර අයුරින් ද ?
7. පළමු වන කවි තුනෙ හි අර්ථය ලියන්න.
8.'නිදි කුමරි' කවි පෙළ පිළිබඳ රසාස්‌වාදයක්‌ ලියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017