නවවන පිටුව
 


 

වනන්තරේ සෙවනැලිවල සිටින්නේ
ගිමන් හැර සයන අඳුරට නොපෙනෙන්නේ
නිරන්තරේ මට ගිනිදැල් ඇවිලෙන්නේ
රන් බඳ ලමැද අත තබමින් අඬන්නේ

සුවඳ බොජුන් වැළඳු මගෙ හිමි සඳට
නිබඳ බොජුන් රසකර දුන් වළඳින්ට
සුවඳ පලාපල වැවියන් හිමියන්ට
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට

පිරිය ලෙසට සැතපුන අපෙ මල් යහනා
බැරිය සිතින් දැකලා මගෙ පපුව දනා
වීරිය බුදුබවට බාදා නොම වඩිනා
සූරිය මඩල මෙහි ඔබ සැතපුන යහන

වෙසතුරු වෙලා වැඩිදා ඔබ සිහි අද්ඳා
රසතුරු හිමේ සොයමින් රැක්‌කා නොවෙඳා
කරදර සිතක්‌ සිතුවේ නැතුවා නොවෙඳා
පරතෙර නැතිව රැක්‌කාවද මහිමි සඳා

සඳ ලප ලෙසට කැටුවම ආවා නොවෙඳා
අත්හැර දමා යන්නට කීවේ කව්දා
සඳමහ නුවර ඉන්නට කිව්වා නොවෙදා
එදා අඬ අඬා පස්‌සේ ගියාවදා

බාදා නැතුව දන්දුන්නේ කුමරු මෙමා
එදා ඉතින් මම වෙස්‌සන්තරම තමා
වදා රුවට සිටි කුමරුන් රාහුළ මා
මෙදා ඉතින් වැඩියේ ඇයිද මා දමා

රහසක්‌ මගේ කවදවත් නැත මිතුරා
වෙහෙසක්‌ වෙන්ට ඇරියේ නැත මෙමා දරා
යහපත් මම ඇඬිමි නිම නැතිව නුඹ කරා
දහසක්‌ ගුණැති මමවෙද යසෝදරා

කාරණාව බුදුවෙනවා ලකුණු දැනේ
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
බාවනාව තොර නොකරමි සිතින් අනේ
මාලිගාව අද අඳුරයි සුවාමිනේ

කිඳුරුවෙලා අපි දෙන්නම උපන්නේ
ඇදුරු සද පව්ව එකඟව වැඩ උන්නේ
සොඳුරු අපි දෙන්න එක රෑට වෙන්වුනේ
දෙදරු ඉතින් අද දක්‌වා අඬන්නේ

ගණන් නැතුව අප දුන්නේ අත බැඳඳා
ගණන් නැතුව ඇඬුවේ මම ඔබ සිත්ඳා
කියන් ඉතින් මම කල වරදක්‌ ඇද්දා
හෙමින් මහන වෙන්නට වැඩියේ ඇයිදා

(c) Shilpa Sayura Foundation 2006-2017