ඇන්න පැනපු සිහදෙන ලෙස බිසව් අනේ
ඡන්න යාලු මගෙ හිමිසඳ අද කොතනේ
ඇන්න වරෙන් මගෙ හිමිසඳ දකින මෙනේ
රෑන එරන්කෙඳි සේ රන්කෙඳි පීරා
පීන පයෝදර ගනරන් කරඬු පුරා
වහම මොක් නිවන් සාදන මුනිඳු සරා
යහන පිට වැටී අඬතෙයි යසෝදරා
සිතා ගෙන ගියේ බුදුවෙන්ටමයි සිත
පතා ජාතියේ ඔබටම සරණ වෙත
පුතා ඉතින් බැද දුන්නේ එවිට අත
කතා නොකර මට වැඩියේ මන්ද සිත
මුව ජාතියේවද පළමුව උපන්නේ
එම ජාතියේ සිට නෑරම මම එන්නේ
කොයි ජාතියේ උපනත් මෙහෙසුන් වන්නේ
මේ ජාතියේ ඇයි මා තනිකර යන්නේ
එදා ගියේ තපසට දෙන්න සහ කැලේ
වඩා දෙදරුවන් උකුලට රැගෙන ලොලේ
බෙදා උනිමි පන්සල් දෙකම එක කැලේ
මෙදා මොකද තනිකර යන්ට මා කලේ
සිතා ගමන වෙර වෑයම් කර දුනිමි
පතා පෙරුම් බලයෙන් නෑරම ආමි
ගොතා දෑත බැඳලා අප දන්දුනිමි
කතා මට නොකර වැඩියේ මන්ද හිමි
තෙමා වැටේ මගෙ සලු පිළි නෙත් පුරවා
අමා රසක් වැනි හිමිසඳ සිහිවෙනවා
දමා කුමරු වැඩියා මට සිහිවෙනවා
මෙමා ඇර ලියෝ ලොව්තුල ඇද්ද තවා
උන්නෙමි අපි ඉපිද ලෙහෙනුන් කුලේ එදා
වැටුනේ ජලය මැද සමුදුර බිලිඳා
දැනුනේ කරපු වීරිය ගොඩගන්ට එදා
හිමි රජුනේ මඟ ඇරියේ මන්ද මෙදා
රුව ඇති පුතුන් වැදුවා මම වැරදීද
රුව ගුණ තේජසක් මගෙ අඩුවුනා වද
ගරු සරු නැති කමක් මාතින් යෙදුනාද
මරු බිඳ බුදුවෙන්ඩ සීනෙන් පෙනුනාද
කිරලා බිජු රකින සැටි හිමි අසන්නේ
වරලා දෙපය අහසට නගමින් ඉන්නේ
අඬලා මගෙ ලයෙ ගිනි දැන් ඇවිලෙන්නේ
නොවලා ලමැද අත තබමින් අඬන්නේ