රිදී යහන සැතපෙන කල බිසවුන්ට
පිරි දෙතන කිරි එරිලා කරඬුවට
රිදී කඳකි නයි පැටියෙකි දෙරන වට
නෑරිය දරු සීන පෙනුනා බිසවුන්ට
ඉතින් ඇවිත් බමුණෝ වාසල් දොරට
සොඳින් සීන තෝරා දුන්නේ රජුට
මෙතුන් ලොවට නායක පුන්සඳ ලෙසට
උතුන් බෝසතෙක් උපදිය තුන් ලොවට
දහස් ගණන් සිට දෙවඟන අත්හැරලා
දහස් සිය දහස් දිවසැප අත්හැරලා
මහත් උතුම් මායාකුස දිවසින් දැකලා
අහස් උසින් පුන්සඳ ලෙස වැඩම කලා
මායා බිසවුන්ට දොලදුක් හට ගැනිලා
දයා සිතින් සැම යදියෝ රැස් කරලා
කියා සැමතැනම වාසල් කරවාලා
ගියා බිසව් දන්සැල් දැක සතුටු වෙලා
දොළ උපතක් ඇති මායා බිසවුන්ට
අරිති වහති වාසල් දොර නුවර සිට
දොරටු සතර වාසල් දොර නුවර සිට
දොළ සංසිඳුනි මහමායා බිසවුන්ට
දෙවනු දොළක් හටගත්තේ බිසවුන්ට
නුවර හැම තැනම දිවපුරයක් ලෙසට
පවර උතුම් මණ්‌ඩපයක් සොද රුවට
නුවර වට ඇවිද වැඩියා මණ්‌ඬපෙට
සල් උයනට යන්ට දොලදුක් උනිය මට
රන් රිදියෙන් සරසන්නේ උයන වට
සතර වරම් දෙවියෝ මුර ජාමවට
සන්තොස වෙමින් වැඩමෙව්වේ උයන වටසල් උයනට වැඩියේ බිසව් මනලොලා
මල් පිපිලා බඹරුන්ගේ එක පුලා
සල් කඳ නැමුනි බිසවට බිම පාත්වෙලා
කල් දැක දස මාස සපිරුනිය ගැබ තුලා
මැණික් කරඬුවේ ගණරන් පිළිම ලෙසා
මෑණියන්ට පෙනී පෙනි කුමරුන්ගෙ ඇසා
සැදී නොයෙක් අබරණ ගත පැලඳි යසා
පෙනී සැම දෙවියෝ වැඩියා විගසා
වඩා සිරිගත්ත සල්කඳ උඩින් දරා
වඩා පලඳින්ට මල්කඳ උඩින් දරා
වඩා හැරලමින් අත්ත මනගරා
වඩා වටකරට තිර ඇද එව්සතුරා
