එක් දාගැබෙකැ දිය බෙරලිය මලක් පිදී
සක් විති සැපත් ඉන් පන්සිය වරෙකැ ලදී
දුක් නැත මෙ පුද කරතොත් අකුසලින් මිදී
වෙස් සබු මුනිඳු දැක එක වරෙකි වැන්දේ
තිස් එක කපෙක දුගතිය දුක් නොවින්දේ
තොස් වඩවන සක් දෙව් ඉසුරු වින්දේ
නිස් පල සතුනි මෙ කුසල් බැරි කුමන්දේ
මින් ලබමියි නො සිතා කිසි උපකරණ
මුන් සසරින් ගොඩ ලමි යන සිත් කුලුණ
පින් පව් දෙක ම නොවදවා කියව බණ
ඉන් තොප විඳින සැප මෙතෙකැයි නැත පමණ
කළහොත් සිල්වතුන් හට නිති වතාවත
දුටු සත් කෙනෙක් වෙති ඕ හට ඉතා හිත
ණැන ඇත් තවුන් සාදන පින් වතාවත
එමහත් පිනෙකි දැන ගනිතොත් ඉතා හිත
පින් කම් කරන අය ඒ දියුණු වන ලෙස
මන් සන් තොසින් එහි ගුණ කියති ඇතිලෙස
උන් උපනූපන් තැන පැතිරෙයි ලොවට යස
පුන් සඳ පහන් වූ මෙන් අදහව් මෙ බස
තිසරණ ගත් එක් මිනිසෙක් එක් කලෙක
නොපැමිණ දුගතියට සිට කප් එක් තිසෙක
අපමණ සැපත් සඟමොක් සැප ලද නිසැක
එසරණ නොගෙන තොප විඳින්නේ ඇයි මෙදුක ?
අනුවණ කමින් සිහි නොකරනු මිස සතත
අසරණ තොපට පිළිසරණක් මය දිමුත
බුදු ගුණ සිතින් එකඟව සිහි කරන හොත
අපමණ සැපත් සිදුවෙයි සැක නොකර සිත
ලොවට උතුම් මුනිරජුන් ගේ ගුණ විපුල
සිතට රැගෙන සිහිකළ නුවණින් නිමල
සතට නොවී කලෙකත් බව දුක් අසල
යසට මෙයින් වැඩෙවා සුල සිරි මඟුල
නොදැන ලෙවන් සැම පව් පින් නියම කොට
බද ලෝවැඩ සඟරා පිනෙනි හැම විට
ලද සැපතින් තොර නොව ලැබ නිති පිහිට
වදෙ සව් සත සැනසෙත්වා මොක් පුරට
වීදා ගම වෙහෙරෙයි මෙත් තෙරිඳු සඳ
සාදා රණව පවසාලා සිතින් නද
බාදා නොවී මොක් දැකුමට බැඳි මෙ පද
පාදා සතුන් සිත පවතීවා නිබඳ