මහා කපි ජාතකය
 

යට ගිය දවස බරණැස්‌ නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් දසරාජ ධර්මයෙන් රාජ්‍ය පරිපාලනය කරන කල්හී කසී දනව්වෙහි සී සා ජීවත් වන එක්‌තරා බමුණෙක්‌ කුඹුරෙහි සී සා ගොනුන් මුදා හැර නියර කොටන්නට පටන් ගත්තේ ය. ගොන්, තණ කාගෙන යන්නාහු කැලෑ කාගෙන යමින් ක්‍රමයෙන් මහ වනයට වන්නාහ. හෙතෙම ගොන් මෙතෙක්‌ වේලා නොදකින්නේ යයි උදැල්ල තබා ලා ඇවිත් නො දැක මහත් දොම්නසට පැමිණ ඔවුන් සොයමින් වනයෙහි ඈත මෑත ඇවිදින්නේ හිමවත් පෙදෙස හා ඒකාබද්ධ වූ වනයට වැද, ආගිය, අත නොදන්නා සතියක්‌, නිරහාරයෙන් වල්මත් ව ඇවිද එක්‌ තිඹිරි රුකකට නැඟ නොවිලික්‌සුනු ඵල අනුභව කරනුයේ ඇඟ බල නැති වුයෙන් අතු අගින් ගිහි හිසට අත්තක්‌ පමණ නැඹුරු ඇති ලෝ ඇඳිරි නරකය සේ බිහිසුණු මහත් නරක ප්‍රපාතයක හුනුයේ ය.


මොහු වැටුණු සද වසක්‌ විවර ඉකුත් වූ කලට වානර ජන්මයෙහි ඉපද බෝධීසත්වයන් වහන්සේ නොයෙක්‌ ඵලාපල කමින් ඇවිදින්නේ ඒ අතු අගට පැමිණියේ ඇති ගාම්භීර ප්‍රපාතයෙහි වැටී ක්‌ෂුධාවෙන් පෙළී කෙඳිරිගාමින් හොත් පුරුෂයා දැක සිය දුකට වඩා මෙරමා දුක්‌ ඉවසිය නොහෙක ඒ මහ සත් තෙම නොයෙක්‌ ජාතියෙහි පුරුදු කරුණාව පූර්ව නිමිත්ත පානා සේ මිනිසකු විවර බර ඇති ගලක්‌ ඉන බැඳගෙන ගල් කුළෙක්‌හි සිට බිමට පැන නැවත උඩට පැන මෙ පරිද්දෙන් අභ්‍යාස කොට ඒ ලෙස පුරුෂ ප්‍රමාණයට පැමිණ ඒ පුරුෂයා ඇඟ වහවාගෙන වේග දනවා ගොඩ පැන විඩාව ගොස්‌ එකියන පුරුෂයා කෙරෙහි තිස්‌සංක ව උකුළෙහි හිස තබා වැඳ හොත්තේ ය.


එසඳ ඒ කෙළෙහි ගුණ නො දන්නා වු මිත්‍රද්‍රෝහී වූ පවිටු පුරුෂ තෙම සිතනුයේ මම දවස්‌ ගණනක්‌ නිරාහාරයෙන් කිසි බලයක්‌ නැතියෙමි ඵලාඵල කෑමෙන් ශරීරයෙහි බල වඩාගත නොහැක්‌ක. "මේ අසේනිව වැදහොත් වදුරා මරා මස්‌ කොට අනුභව කිරීමෙන් ශරීරයත් පුෂ්ටිකොට ගෙන මෙයින් මාර්ගෝපකරණකුත් සපයා ගනිමි" සිතා මා දෙමාපියන් මරාත් සැප උපදවා ගත යුතු යැයි සිතනුයේ නුදුරෙහි ම තිබූ ගල්ලෑල්ක්‌ අරගෙන බෝධිසත්වයන් නිදමින් හොත්තයවුන් මුදුනේ පහළේ ය. එවිට මහ බෝධිසත්ව තෙම උනන්දුව අතු අගකට පැන මේ කිමෙක්‌දෝ හෝ යි විමසනුයේ අන් කිසිවකුත් විසින් කළ දෙයක්‌ නො වෙයි. මේ පවිටු තැනැත්තවුන් ගෙන් ම විය යුතු යැයි දැන ගොඩ නැගිමි තෝද දැන් ඊට වඩා ගැඹුරු මිත්‍රද්‍රෝහි නමැති වළෙක්‌හි වැටුණේ ය. තා කළ සේ නො යෙදෙයි කියා ඕහට නින්දා කොට ඉදින් මෙතන හැරපියා කරුණාවට සුදුසු වන්නේ යැයි සිතා එම්බල පුරුෂය, තා කෙරෙහි මම සැක ඇත්තෙමි.


එබැවින් මම අතු අගින් අතට පැන තට මග පාමින් යෙමි කියා මොහු කැඳවාගෙන වනයෙන් එළියට බහා මාවත සිටුවා නැවතත් ඇස වසා හුනු මස්‌ වැදැල්ල අතින් ඔසවා ගෙන තුරු හිසින් තුරුහිසට පැන ගොස්‌ තමන් වසන පර්වත ප්‍රාන්තයට ගොසින් වත්හ. ඒ මිත්‍රද්‍රෝහී පුරුෂ තෙමෙන් මහාබෝධීසත්වයන් කෙරෙහි අපරාධ කොට ඒ පාපයෙන් ශ්වේතකුෂ්ටග්‍රාත්‍රි ව ක්‌ෂුධා පිපාසාවෙන් පීඩිත වුයේ එම ආත්මභාවයෙන් ම මු මනුෂ්‍යාප්‍රේත වුයේ ය. එතෙම මෙලෙසින් සත් අවුරුද්දක්‌ මුළුල්ලෙහි දුකින් පෙළී ඇවිදිනේ ක්‍රමයෙන් බරණැස්‌ නුවරට වැද මහා වරම් උද්‍යානයට වැඳ පවුර කෙසෙල්පත් අතුට වේදනාත්මක වැඳ හොත්තේ ය. එකල්හි බරණැස්‌ රජතෙම උයනට ගොසින් රම්‍ය වූ ප්‍රදේශයන් බලමින් ආවිදින්නාහු මේ මනුෂ්‍යප්‍රේතයා දැක තෝ කවරෙක්‌දැයි  ද කොයි සිට ආයි ද කුමන පාපයකින් මේ සේ වු දුක්‌ විඳිනාහු දැයි මෙලෙස විචාරයන්නේ යි. හම්බල පුරුෂය තාගේ ශරීරය වැදි සමක්‌ සේ සුදු ය. ඒ ඒ ස්‌ථානයෙහි ගඩපොල කරණ කොටගෙන පිපි කොබෝලීලමල් රුකක්‌ වැන්නෙහි ය. තොපගේ ශරීරය ඉතා දුර්වල ය. වෙර ඇට ඉපිලී නහර බහන් ඉල්පුණේ ය. දුටු දුටුවන් විසින් ඉතා ම පිලිකුල් කටයුතු වුයෙහි ය. එසේ හෙයින් තෝ යක්‌ෂයන්ගෙන් කවරෙක්‌දැයි විචාරා තව ද පුරුෂය තාගේ හස්‌තපාදයෝ ධවලයෝ ය. ඊට වඩා ඉසකේ සුදු ය. නැවත තාගේ මිශ්‍ර වර්ණය තඹුරුවන් ව කුෂ්ට කිලාසයෙන් ගැවසුණේ ය.


මේ කියන සියලු කාරණයෙන් දරුණු වූ කවර පාපයක්‌ කොටි මේ දුක්‌ විඳින්නේහි දැයි නො මැරිය යුතු කවර උත්තමයෙන් හට හිංසාපීඩාවක්‌ කෙළෙහි දැයි මොහු කළ අකුසල් විචාළේ ය. ඉක්‌බිති මිත්‍රද්‍රෝහී බමුණු තෙම තමා මේ ජන්මයෙහි කළ අකුසල් නොමියන දුකත් විඳිනා නියාව ක්‍රියා කළ අපරාධය ප්‍රකාශ කරනුයේ මෙලෙස කියන්නේ ය. බරණැස්‌ රජ්ජුරුවෙනි ( මෙලොව සැබෑව කීම නුවණැත්තෝ ප්‍රසංසා කෙරෙති. එසේ හෙයින් ඇති සැරටි නො වරදවා කියනුයේ මෙලෙසින් කියා. රජ්ජුරුවෙනි, බමුණු කුලයෙහි ඉපදත් ගොවිතැන් කොට ජීවත් වන්නෙම්. එක්‌ දවසක්‌ අපවත් ව ගිය ගොන් ගෙයක්‌ කැලෑකාගෙන ගිය සතර බලාගෙන යන්නෙම් මහ වනයට වැද එයින් වල්මත් ව ඇතුන් වලසුන්ගෙන් වැසීගත් කාන්තාරයට වැදි සිංහ ව්‍යාඝ්‍රාදී භයින් ගැලවී ඇවිදින්නෙම්, ඵලහරිත නැමුණු අතු අති තිඹිරි රුක්‌කට නැගී ගැඹුරු වළකට නැමුණුයෙමි ෂෂ්ටිපුරුෂ ප්‍රමාණ වළෙහි ඉබස බිම් පලා පය උඩුකුරු කොට කිසි එල්වීමක්‌ නැති ව ගල් සැරැස්‌සෙහි වැටීණිමි. එසේ වුවත් දිය පිරුණු වළ හෙයින් අත් පත් නොබිඳි ම දුක්‌ විඳිමින් පිරුණු සතියක්‌ එහි ඉකුත් කෙළෙමි. ඉක්‌බිති ගොනඟුල යැයි යන ව්‍යවාහර ඇති එක්‌ වානරයෙක්‌ නොයෙක්‌ ඵල අනුභව කොට ඇවිදිමින් ඵලත් තිඹිරි රුකට පැන අනුභව කෙරෙමින් වළට නැමුණු අතු අගට පැමිණ එවේලෙහි ඇට සම් මාත්‍ර ව සුදුමැලි ව කන්ඨ ප්‍රමාණ ව වැදහොත් මා දැක මහත් වූ කරුණා උපදවා, එම්බල පින්වත, මේ දුකින් පෙළෙන තෝ මනුෂ්‍යයෙක්‌ දැයි විචාළේ ය. මමත් ඔහු බලා ඇදිලි බැඳ කියනුයෙමි, පින්වත වූ වානරයාණෙනි. මම වැල්මත් ව අවුදින් මේ තැන්හි වැටුනෙම් එක්‌ මනුෂ්‍යයෙක්‌මි. මෙයින් මට ගැවීමෙක්‌ නැතැ යි ප්‍රාණයට ආසා නැති ව වැදහොත් කලට කිසි දෛවයකින් කොපි මා වෙකට පැමිණියව. තොපට වැඩෙක්‌ වේව යි මට පිළිසරණ වේව යි යාඥා කෙළෙමි. එකල්හි කරුණා පුරස්‌සර වැඳුරාණොත් ගලක්‌ හිඟ බැඳ ගෙන ගොඩ දී ම මඳක්‌ අභ්‍යාසන කොට මා වැටුණු ප්‍රපාතයට පැන, මෙ සේ එව, පුරුෂයාණෙනි, මගේ පිටට නැඟි කර සිපගෙන තරයේ වැඳ හිදුව යි සම්මත කොට අතිනුත් අල්වාගෙන ගොඩට පැන මෙසේ කීයේ ය. සබඳ පුරුෂය, මාගේ ශරීරය විඩා ව ආයාස ඇත්තේ ය. එබැවින් මා සැතපී ගන්නා තුරු සිංහ, ව්‍යාඝ්‍ර, දිවි වලස්‌ ආදී සතුන් වළකා බලා හිදුව යවි කියා සැතපී නිදිමත වුයේ යත එකෙණෙහි ම මාගේ නුවණින් පවිටු සිතුවිල්ලකත් සිතනුයෙමි. මේ වානර තෙම හූරන්, ගෝනුත්, මුවන් මෙන් මරා කෑ යුතු  සතෙකු. එබැවින් මොහු මරා මස්‌ අනුභව කෙළෙමි නම් ශරීරයෙහි බලත් ඇති වන ගන්ති මාර්ගයට සමබලත් මිම්ම කොට ගනි මැ යි සිත.මි. මෙලෙස සිතා ගලක්‌ හැරගෙන වානරයාණන්ගේ ඉස්‌ මුදුනෙහි පහළෙමි. ශක්‌තිනැත්තාහු විසින් ගැසූ පහර දුර්වල විය. එබැවින්  ලේ වැකුණු ශරීර ඇති ඒ වානර තෙම අකතු අගට පැන කදුළු පිරුණු ඇසින් මා සමීපය බලමින් මෙලෙස ක්‍රියා, පින්වත් පුරුෂය මාගෙන් උපකාරයකුත් විඳ මෙලෙස තා කළ සේ නො යෙදෙයි. එතෙකුදු වුවත් තොපි බොහෝ කලක්‌ දියාලු ව යි කියා, අනේ පුරුෂයාණනි. මෙසේ වූ වළෙකින් තොප ගොඩ ලූ පරිදි මරහුගේ මුඛයෙන් ඇද ගත්තාක්‌ වැනිය. එලෙස උපකාර කළ මා කෙරෙහි මෙ බදු අපරාධයක්‌ කළා ව ද? තොප කළ සේ නො යෙදෙයි. පවිටු වූ තොප විසින් පාපයෙන් ම සිතන ලද ඒම්බල අධර්මිෂ්ඨ වු පුරුෂය මම මේ ඇස්‌ වැටෙන මස්‌ වැදැල්ල සඟවා ගෙන යම් වේදනාවක්‌ විඳින්නෙම් එසේ වු වේදනාවෙන් තොපට නො පැමිණෙය යි ගිනි රොදකින් හුණු වනයක්‌ දවන කලක්‌ පරිද්දෙන් තොපට බොහෝ සග සුව මොක්‌ සැප නැසීමට හේතු වූ මේ මිත්‍රද්‍රෝහී පාය කට විපාක නො දේව යි කියා දෙමවුපියන් දරුවන් කෙරෙහි ද කරුණා ප්‍රේමයක්‌ මෙන් මා කෙරෙහි මෛත්‍රී, තව ද කියනුයේ, එම්බල පුරුෂය, තා මෙතන හැර පියා නෙත් නම් මාගේ කරුණාවට තරම් නො වෙයි. තොප ගොඩලීමෙහි ප්‍රයෝජන වත් නොපෙනේනනේ ය.


එබැවින් නොපැමිණි සතුරාට කළා වූ පියපුතු ය. එතකුදු වුවත් තොප කෙරෙහි මාගේ විශ්වාසයක්‌ නැත. එබැවින් මා පසුපස්‌සෙහි බල බලා එව යි කියා එක්‌ අතකින් මස්‌ වැදැල්ල ඇස වහා හිය නොහී වහා ගෙන අතු අගින් අගට පැන පැන ගොසින් මහ වනයකට බහා නියන වානර තෙම, සබඳ, පුරුෂය සිංහ ව්‍යාඝ්‍රයන් විසින් වගුන් වලසුන්ගෙන් වන භයින් මිදුණෙහි ය.ත මේ බරණැස්‌ නුවර බලා යන මහ වනය. මෙයින් යන මිනිස්‌ පහසට පලා යව යි සම්මත කොට ඇය කඳුලු පිස පිස තමා වසන පර්වත ප්‍රාන්තයට ගියේ ය. මෙසේ වූ මේ දුක්‌ඛයන් අවුරුද්ක්‌ මුළුල්ලෙහි විඳිනෙමි. මේ සියල්ල ම මම මේ ජාතියෙහි කළ පවින් දැන් මෙ බඳු දුකකට පැමිණියෙමි. එ බැවින් මේ රැස්‌ වු ජනයාහට හා රජ්ජුරු වහන්සේට අවවාදයක්‌ කියමි යි මෙලෙසින් කීය. තොප බෙහෝ දෙනා හට වැඩක්‌ වේ ව යි මිත්‍රයන් කෙරෙහි විරෝධ දෝස නොසිතව. මිත්‍රද්‍රෝහී පාපයන්ගෙනුත් ඉතා නපුරු අත්පිට විපාක දෙන පාපයෙන් මේ ජාතියෙහි කුෂ්ට ඇති වෙයි. ගඩපොල කිලාස නරකාදි දුක්‌ඛයෙනුත් අපමණ දෑ විඳින්නේ යැයි කෙතමේ තමා දෘෂ්ටාන්ත කොට ගියේ ය. මෙසේ රජ්ජුරුවෝ හා සමඟ තමා කළ පාපය ප්‍රකාශ කොට කිය කියා සිටිය දී පොළොව විවර දුන්නේ ය. එකෙණෙහිම රත් පලසකින් වසන කලක්‌ මෙන් ගිනි දැල් වසාගෙන ඉන් සැව, අච්ච මහා නරකයෙහි උපන්නේ ය. ඔහු පොළොව ගිලූ කල්හි රජුජුරුවෝ ද සතර කලකිරි භය ගනිමින් සිය නුවරට ම වන්නාහ. එසේ හෙයින් මහණෙනි. මේ දේවදත්ත තෙම දැන් මතු හිසට ගල් පෙරළුයේ නො වෙයිත පෙරත් ගල් පෙරළුයේ ම වේ දැයි වදාරා මේ ජාතකය පූර්වාපර සන්ධී ගළපා නිමවා වදාළ සේක.

පැහැදිලි කිරීම


ගොන්ගේ - හරක්‌ බාන
වල්මත් - මං මුලා වී
නො විලික්‌සුනු ඵල - නොඉදුණු ගෙඩි
ලෝ ඇඳිරි නරකය - ඝන අදුර ඇති අපාය
ක්‌ෂුධාවෙන් - බඩගින්නෙන්
මෙරමා - අන්‍යයන්
නිස්‌සංක ව - සැක නැති ව
පුෂ්ටි කොට - පෝෂණය කොට
ෂෂ්ටි පුරුෂ මාන- මිනිසුන් හැට දෙනකුගේ පමණ උස
පර්වත ප්‍රාන්තය- පඒවත බෑවුම
ශ්වේත කුෂ්ටගාකත්‍රීව - සුදු කුෂ්ට ඇති ශරීර ඇති ව
ක්‌ෂූධා පිපාසාවෙන් පීඩිත වූ - බඩගින්නෙන් හා පිපාසාවෙන් පෙළුණු
ගඩපොල - දෙහි ගෙඩි ප්‍රමාණ බිබිළ
නහර බහන් - නහර, බඩවැල්
කුෂ්ට කිලාසයෙන්- දද, හොරි
ගල් සැරැස්‌සෙහි - ගල් අතර
මාර්ගයට සම බලත් මිම්ම කොට - ගමනට අවශය සවි ශක්‌තියව මෙයින්ම ලබා ගෙන
ගඩපොල කිලාස බුප්පිපාසාදි දුක්‌ඛයෙන්  - හොරි, දද, කුෂ්ට, වේදනාව, බඩ ගින්න හා පිපාසාවෙන් පෙළීම
දෘෂ්ටාන්ත කොට - උදාහරණ ලෙස දක්‌වා
සැව - චුත ව


අවබෝධය
1. ගොවියාට සිදු වූ කරදරය කුමක්‌ද?
2. බෝධීසත්වයන් මිනිසා කරදරයෙන් මුදවා ගත්තේ කෙසේ ද?
3. ගොවියාට ඇති වූ නරක සිතුවිල් විස්‌තර කරන්න
4. බෝධීසත්වයන් දෙවැනි වර ගොවියාට උදව් කළෝ ද?
5. ගොවියාගේ මිත්‍ර දෝ‍ර\හී භාවය නිසා සිදු වූ හානිය කුමක්‌ ද?
6. බරණැස්‌ රජු රෝගී පුද්ගලයාගේ තත්වය විස්‌තර කළේ කෙසේ ද?
7. ගොවියා ජනතාවට හා රජ්ජුරුවන්ට දුන් අවවාද කවරේ ද?
8. ගොවියා අවසානයේ ලැබුණු විපාකය කුමක්‌ ද?


වියරණ හුරුව
1. මේවායේ අදහස්‌ පෙන්වා දෙන්න.


වනයට වැද, ආ අත් වන අත් නොදෙන්නේ
ශරීරය පුෂ්ටි කොට ගෙන මෙයින් මාර්ගෝපකරණයකුත් සපයා ගනිමි
උද්‍යානයට වැඳ පවුරු කෙසෙල් පත් අතුට
ගොන් ගෙයක්‌ කැලෑ කා ගෙන ගිය හසර බලා ගෙන
කරුණා පුරස්‌සර වදුරාණෝත් ගලක්‌ ඉන බැඳ ගෙන


ඇගැයීම
1. බෝසතුන් තුළ තිබූ කරුණා ගුණයත්, ගොවියා තුළ තිබූ ගුණාත්මකමත් පැහැදිලි වන තැන් සාකච්චා කරන්න.
2. මේ පාඩම ආශ්‍රීතව අපට ගත හැකි ආදර්ශය කුමක්‌ ද?
3.මිත්‍රද්‍රෝහී විමෙ විපාකය පෙන්නුම් කරන ලෙස ප්‍රබන්ධයක්‌ ගොඩ නගන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017