නූල් කෑල්ල
 

දවස අඟහරුවාදා බැවින් ගොදාවීලාහි ගොවියෝ අඟහරුවාදා පොළට සිවු දිගින් ම රැස්‌ කමින් සිටියෝ ය. ගොවියන් ඉතා හෙමිහිට ගමන් කළේ සතිය පුරා කුඹුරේ ගොවිපළේ බර වැඩ කිරීමෙන් ලද, තෙහෙට්‌ටුව නිසා දෝ හෝ යි සිතිමි. නගුල පොළොවට තද කිරීම හේතු කොට පහත් වූ එක්‌ උරහිසකින් හා ගොයම් කපන්නට පහත් වීමෙන් කුදු ගැසුණු කොඳුවලින් විකෘති වුණු ගොවියෝ දුක්‌බර දර්ශනයක්‌ උද්වහනය කළහ. තදින් කැඳ දමා මැද තිබුණු ඔවුන්ගේ උඩුකබා දොහෝ නොහොත් කමිස, පිරී පිම්බී, බැලුනවල සිරියක්‌ දැරීය. මේ සුළං පිම්බි තිබුණු බැලුනවලින් එළියට නෙරා තිබුණු හිස්‌ගෙඩි හා දෑත දෙපය හේතු කොට ගෙන ඒ බැලුන අහසේ යන බැලුන නො ව බිම යන බැලූන බව බැල්මට පෙනෙන්නට තිබුණේ ය.


ඇතැම් ගොවියන් අඟහරුවාදා පොළේ දී විකිණීම පිණිස එළදෙනුන් දක්‌කා ගෙන ගිය අතර, ඔවුන්ගේ බිරියන්, කොළ අත්තක්‌ ගෙන ඒ දෙනුන් ගේ පිටට තට්‌ටු කරමින් ගමන් කළේ, උන්ගේ ගමන ඉක්‌මන් කරවන්නට විය යුතු ය. අතින් කොළ අතු දරා සිටි මේ ගෙවිලියන්ගේ හිස මත වූයේ වසන ලද කුඩා ය. මේ කූඩා වලින් කුඩා කුකුල් පැටව් හිස්‌ එළියට දමා අවට විසිතුරු බලමින් සිටියෝ ය.


එදා ගොදාවිලාව එක ම හිස්‌ ගොඩකි. විකුණන්නට ගෙන එනු ලැබූ සතුන්ගේ හැඬිම් හා දෙනෝදාහකගේ දොඩමළු ස්‌වරය හේතු කොට ගෙන එම වෙළඳපොළ එක ම කරච්චලයක්‌ විය. හැම ගොවිපළකම තිබුණු කුණු කන්දල්, පිදුරු හා දහදිය, දුර්ගන්ධය වහනය වන වෙනත් නොයෙක්‌ දේ මෙදා එක්‌ තැනකට රොක්‌ වී තිබුණු නමුත් ගැමියන් හට එහි කිසි ම වෙනසක්‌ නො දැනුණා වැන්න.


හකීම් ද ගොදාවිලා වෙළෙඳපොළට ගමන් කරමින් සිටියේ ය. ඔහු කඩ මණ්‌ඩියට පිය නඟත් ම ඔහුට පාරේ වැටී තිබුණු නූල් කෑල්ලක්‌ දකින්නට ලැබිණ. නියම නෝමන් මනුෂ්‍යයකු හකීම් අතිශයින් ම සකසුරුවම පුරදු පුහුණු කළ කෙනෙක්‌ වූහ. වාත ගායකින් පෙළුණු නමුදු වාත රෝගය මඳකට අමතක කළ හෙතෙම දෙකට නැමී නූල් කැල්ල අහුලා ගත්තේ ය. ඔහු නූල් කෑල්ල රැගෙන එය ගුළියක්‌ ලෙස ඔතමින් සිටිත් ම, ඔහුට පෙනී ගියේ මළදාන ඔහු දෙස ඕනෑ කමින් බලා සිටිය බව ය. අසරු ඇදුම් සපයන්නකුවූ මළදාන.


ඔහුගේ කඩපිලේ හකීම් දෙස පරීක්‌ෂාකාරී ලෙස බලා සිටින බව පෙනිණ. මේ දන්නා එක්‌ කලක්‌ එකට වෙළෙඳාම් කළ නමුදු කිසියම් කරුණක්‌ හේ කොට ගෙන මෑත කාලයේ දී සතුරන් බවට පත් වී සිටියහ. එහෙයින්, තමා මහ මඟ වැටී තිබුණු නූල් කැබැල්ලක්‌ අහුලා ගනු, තමාගේ පසමිතුරාට පෙනුණු බැවින් හකීම්ට ඇතිවූයේ බලවත් ලැජ්ජාවකි. ඔහු ලහිලහියේ ම එය කමීසය අස්‌සෙහි ගසාගෙන යළි ස්‌වකීය පසමිතුරාට නො පෙනෙන ලෙස එය සාක්‌කු වේ දමා ගනිමින් නැතිවුණු දෙයක්‌ සොයන්නාක්‌ මෙන් තව තවත් මහපාරට නුඹුරු වී බලන්නට විය. ඔහු මඟ පාරේ තිබී නූල් කෑල්ලක්‌ අහුලා ගත් බව සිය සතුරාට වසන් කරන අටියෙන් එසේ කළ නමුදු, බර වූ හිසින් යුතු ව හෙතෙම වෙළඳ පොළට පිය නැගුවේ ය.


වෙළහෙලඳාම කරන, බඩු කේවෙල් කරන පිරිස මැද, හකීම් ද ගත යුතු දේ විපරම් කරමින් සැරිසැරී ය. ඇතැම් ගොවි කෙනෙක්‌ සතුන් විකුණති. තවෙකෙක්‌ කිරි දොවා විකුණ යි.


ගෙවිලියෝද ඔවුන්ගේ කුඩා ධීවර කොටලු පැටවුන් එළියට ගෙන ඔවුන් දෙපා එකට තබා බැඳ පැත්ත දමා, ගැනුම්කරුවන් එන තුරු බලා සිටියෝ ය. පැත්ත වැටී සිට නමුදු තැති ගත් නෙතින් බල බලා රන්වන් කරමල් උඩුකුරු කෙරෙමින් පැටවුන් මහත් විපරමින් පසු වන බව පෙනිණ.


ඔවුහු සතුන්ගේ ගණන කීහ. ගැණුම්කරුවෝ අඩුවෙන් ඉල්ලූහ. ඊට පිළිතුරු වශයෙන් හිස්‌ බැමවූ ගෙවිලියන් ගැනුම් කරුවන් මිල ගණන වැඩිවී, යන්නට  යන බව දැක ගැනුම්කරුවන් හට ආපසු කතා කළ හැටි දැකුම්කලු විය.


ඉර මුදුන් වත් ම බඩු ගැනීම හා විකිණීම අනුක්‍රමයෙන් කෙළවර වන්නටත් පොළේ රැස්‌ වූ පිරිස කඩ මණ්‌ඩිය දෙසට - බොජුන් හල් දෙසට ඇදෙන්නටත්. පටන් ගත්හ. ජෝදානයේ බොජුන් හලේ මැද කාමරය කන බොන පිරිසගෙන් පිරී තිබුණේ ය. ඒ අසල කරත්ත, බර කරත්ත, අත් කරත්ත ආදී අනේක විධ වාහන නවතා තිබුණේ ය.


පිරිස කෑම කන කාමරයට යා බදව පිහිටියේ බත් කඩේ මුළුතැන් ගෙය යි. ගිනි උදුනේ එළුවන් බැටළුවන් හා කුකුළන් ගාස්‌ පිටින් හා පළු පිටින් පිළිස්‌සෙනු එහි රැස්‌ වූ පිරිස දුටුවේ, යටි තොල් ඔස්‌සේ රූරා ඇද හැළුණු සෙවල සහිත ව ය. ඒ මාංශයේ දර්ශනයෙන් - නැහැ - එහි සුවඳින් රැස්‌ව සිටි පිරිස ගේ දෙතොල් තෙත් වූ බව ඇත්ත ය. වඩාත් පොහොසත් කම් ඇති තැනැත්තෝ රස දෑ භුක්‌කි වින්දෝ ය. අසුන් විකුණන්නකු හා තාබෑරුම්කරුවකු වූ ද කාසිකාර තක්‌කඩියකු වූ අයකුට හිමි ජෝදානයේ මේ ආපනාශාලාවට හැම තරාතිරකම ගණන්කාරයෙක්‌ ම පැමිණියහ.


මස්‌ බදුන් මේසයට එයි. මස්‌ බදුන් හිස්‌ වෙයි. සයිඩර් බෝතල් හිටි හැටියේ හිස්‌ වෙයි. පිරිස දොඩමළු වෙයි. එහෙත් මේ දොඩමළු බව මුලු ගන්වමින් අණ බෙරකරු මේ ආපන ශාලාව ඉදිරිපිට නැවතී මහ හඬින් අණ බෙරය ගැසී ය. සියල්ලෝ ම සාවධාන වූහ. අණ බෙරය ගසා අවසන් කළ බෙරකරු තෙමේ, පුරපති විසින් ප්‍රකාශ කරන්නට නියම කරන ලද ප්‍රකාශනය ශබ්ද නගා කියවූයේ ය.


"අද උදය කාලයේ බැන්සිවිලාවට යන මාර්ගයේ දී පෙරවරු නවයටත් දහයටත් අතරතුර නාගරාධිපතිවරයාට අයක්‌ වූ කාලවර්ණ පුස්‌තකයක්‌ නැති වූ බවත් ෆෑන්ක්‌ පන්සියක නොට්‌ටුවලින් හා වෙක්‌ කාර්යාලයීය ලිපි රාශියකින් ද පිරී ගිය ඒ පොත සොයා දුන් හෝ ඒ පිළිබඳ සත්‍ය තොරතුරක්‌ දුන් කවරකුට වුව ද ෆෑන්ක්‌ විස්‌සක පරිත්‍යාගයක්‌ කරන බවත්, ගොදාවිලාහි සියලු ම වැසියන් හට හා විශේෂයෙන් අඟහරුවාදා පොළට පැමිණි ගොවියන්හට මෙයින් අණ බෙර ලවා සැල කර සිටිනු ලැබේ."


මේ ප්‍රකාශනය කළ අණ බෙරකරු යන්නට ගියේ ය. තව මොහොතකින් ඔහුගේ බෙර හඬ හා ඉන් අනතුරුව ඔහුගේ කටහඩ ද තවත් ඈත තැනකින් ඇසෙන්නට විය.


බොජුන් හලේ සිටි කා අතර කථාවත්, කාගේ කථාවත්, දැන් මේ අණ බෙරය ගැන විය. ෆ්‍ර$න්ක්‌ පන්සියයක්‌ අඩංගු වූ පොත අසුලා ගත්තේ කවරෙක්‌ද? එය සොයා දී ෆ්‍ර$න්ක්‌ විස්‌සේ පරිත්‍යාගය ලබන්නේ කවරෙක්‌ ද? යනු කා අතරත් සාකච්ඡා වුණු කථාව ය. මේ කතා බහෙන් ම භෝජනය කෙළවර වී එහි සිටි පිරිස කෝපි බොන්නට සැරසෙත් ම, පොලීසියේ නිලධාරියෙක්‌ බොජුන් හල ඉදිරියේ පෙනී සිටියේ ය. පෙනී සිට මෙසේ ප්‍රශ්න කෙළේ ය.


හකීම් ගොවිරාල මෙහි සිටිනවා ද? කවුරුත් නිශ්ශබ්ද වූහ. මේසයේ එහා කෙළවරෙහි අසුන් ගෙන සිටි හකීම් - ඔව් මා මෙහි ඉන්නවාඬඬ යැයි උත්තර දුන්නේ ය. එහෙනම් මාත් එක්‌ක එන්න පුළුවන් ද නගරාධිපති කන්තෝරුවට ? නගරාධිපතිතුමාට වචන කීපයක්‌ කථාකරන්න තියෙන බව කියනවා.


විස්‌මයෙන් විස්‌මිත වූ ගොවියා, බොමින් සිටි කෝපි කෝප්පය එක උගුරට හිස්‌ කොට උදෑසන වෙළෙඳපොළට එද්දී තිබුණු හිසටත් වඩා දැන් හිස බර වූ බැවින් වඩාත් කුදු වී පොලිස්‌ නිලධාරියා වෙතට පැමිණියේ ය. පුදුමයෙනුත් පුදුමයට පත් වූ හකීම්ට, ඔව් මා මේ ඉන්නේ - මා මේ ඉන්නේ යන්නට වැඩි යමක්‌ කියන්නට නො තිබුණේ ය.

හාන්සි පුටුවක දීගා වී දිටි නගරාධිපතිවරයා හකීම් දෙස හෙළුයේ තියුණු බැල්මකි. වැරදිකරුවකු දෙස බලා විනිසුරුවකු හෙළන අන්දමේ පරීක්‌ෂණාත්මක බැල්මකි.


"අද උදේ වරුවේ බැන්සිවිලාවට යන පාරේ තිබී පොත අසුලා ගත්තේ නුඹ යි?"  නගරාධිපති රළු බසින් බලා ප්‍රශ්න කළේ ය. පුදුමයට පත් වූ ගොවියා තැති ගත් නමුත් මෙසේ ඇසී ය.


"මම ? මම ? මම පොතක්‌ ඇහුලුවා?"


"ඔව් නුඹ තමා"


"සමාවෙන්න මම එහෙම දෙයක්‌ ගැන අසුවෙ වත් නැහැ"


"ඇසුවේ නැහැ - නමුත් දැකලා තිබෙනවා නුඹ ඒ අහුලා ගෙනයනවා"


"මා අහුලනවා දැක්‌කා ? කවුද දැක්‌කේ"


"මළදාන - අසරු ඇදුම් සපයන මළදාන"


මහලු ගොවියාට පසමිතුරා මතක්‌ විය. හෙතෙම කෝපයෙන් සැලුණේ ය.


"බොරුකාරයා, ඔහු මගේ එදිරිකාරයා ඔහු දුටුවා මා මෙන්න මේ නූල් කෑල්ල අහුලනවා" යැයි කියමින් හකීම් සිය කමිස සාක්‌කුවේ දමා ගෙන සිටි නූල් කැබැල්ල ඉවතට ගෙන නගරාධිපතිවරයාට දැක්‌ වී ය. එහෙත් එය කිසි සේත් විශ්වාස නොකරන නියායෙන් හෙතෙම හිස සැලුවේ ය.


"පොත නුඹ අහුලා ගත්තා විතරක්‌ නොවෙයි, එය අහුලා ගෙන, ඊට පසු පාරේ ගල්ගැහී බලා සිටියා, එහි තිබී මුදල් නෝට්‌ටු බිම වැටී ඇද්දැ යි නූඹ විපරමින් බලා සිටියා" නගරාධිපතිවරයා මෙසේ කියත් ම ස්‌වකීය සතුරා කෙරෙහි කෝපයෙන් පුපුරනවාට වඩා වෙන දෙයක්‌ හකීම්ට කරන්නට නොතිබුණේ ය. අන්තිමේ දී හෙතෙම ගොත ගැසුවේ ය.


"මිනිසෙකු අවංක කමේ - නියම අවංක කමේ - මඩ ගාන්නට මෙහෙමත් බොරු ගොතන මිනිස්‌සු (බොරුකාර මිනිස්‌සු)"


එහෙත් මේ කිසිවක්‌ නගරාධිපතිවරයාගේ සිතෙහි ඇති වූ සැකය ඉවත් කරන්නට නොහැකි විය. නගරාධිපති තබා එතැන සිටි කිසිවෙක්‌ හකීම් ගේ වචන විශ්වාස නො කළෝය. අන්තිමේ දී හෙතෙම තමාගේ ම කැමැත්තෙන් තමාගේ ශරීරය සෝදිසි කර බලන ලෙස ඉල්ලා සිටියේ ය. පොලිස්‌ නිලධාරියා පරීක්‌ෂා කළේ ය. හකීම් ද හැම සැක්‌කුවක්‌ ම අනික්‌ පිට පරෙළා දැක්‌වීය. එහි වූ පොතක්‌ නැත. කාසියක්‌ නැත.


නඩු පවරනු ලැබූ විට උසාවියේ පෙනී සිටින්නට සූදානම් වි සිටින ලෙස නියෝග ලැබූ හකීම් බලවත් වූ කෝපයකින් කනස්‌සල්ලකින් හා කලකිරීමකින් යුක්‌ත ව එ තැනින් ඉවත් ව ගියේ ය.


හකීඹ්, ෆ්‍ර$න්ක්‌ පන්සියයකුත් සමඟ පොතක්‌ අහුලා වසන් කළ බව හැම තැන ම ප්‍රකට විය. ඔහු නගරාධිපති කාර්යාලයේ සිට කඩමණ්‌ඩියට එන විට ජනයා කථා කරමින් සිටියේ "හකීම් ෆ්‍ර$න්ක්‌ පන්සියයක්‌ හොරකම් කළ බව" ය. බලවත් විත්ත වේගයට පත් වූ මේ අහිංසක මහලු ගොවියා හැම දෙනා ඉදිරියේ ම දිවුරා කීවේ තමා නූල් කෑල්ලක්‌ අහුලා ගත් බව ය. එහෙත් කිසිවකුත් එය විශ්වාස නො කළහ. සියල්ලෝ ම උසුළු විසුළු කළහ.


ඔහුගේ ගමට යන මඟ දිගට ම මහජනයාගේ කථාව මේ ගැන විය. හකීම් ෆ්‍ර$න්ක්‌ පන්සියයක්‌ හොරකම් කිරීමේ විත්තියත් තව නොබේ දිනකින් ඔහුට සිර බත් කන්නට සිදුවන බවත් හැම දෙනෙකුගේ ම තුඩ තුඩෙහි කියැවෙන්නට පටන් ගති. "මා මුදල් ඇහුලුවේ නෑ - මා අහුලා ගත්තේ මෙන්න මේ නූල් කෑල්ල" මේ ගැන ඇසූ හැම දෙනකුට ම හකීම් නූල පෙන්නමින් කියා සිටියේ ය. ඒ හැම දෙනෙක්‌ ම සිනාසුණේ ය.


පසු දින පහන් විය. හකීම්ට මඟට බැසීමට අසීරු වූයේ "ඕකා හොරා ඕකා හොරා" යන හඬ ඔහුගේ දෙසවනෙහි රුඟුම් දෙන්නට වූ බැවිනි.
 
"මම හොරෙක්‌ නොවෙයි. මා අහුලා ගත්තේ නූල් කෑල්ලක්‌" යනු හකීම් සෑම දෙනාට ම කී කතාව යි.


"නාකි තක්‌කඩියා, හොරකම් කරලා මදිවට තව සුද්ධ වෙන්නත් එනව" යනු ඔවුන්ගේ ආක්‍රෝශ පරිභවය විය.


නූල් කෑල්ලක්‌ රැගෙන හෙතෙම ගෙයින් ගෙට ගියේ ය. තමාගේ නිදොස්‌ බව පවස පවසා ගියේ ය. එහෙත් හැම තැනකින් ම ලැබුණේ විසුළු සිනාවකි. හකීම් බලවත් ලෙස කලකිරී අසනීප විය.


පසු දා දාවල් එක්‌තරා ගොවියෙක්‌ ෆ්‍ර$න්ක්‌ පන්සියය සහිත පොත නගරාධිපතිවරයා වෙත ගෙන ගොස්‌ ෆ්‍ර$න්ක්‌ විස්‌සේ ත්‍යාගය ලබා ගත්තේ ය. මේ ගොවියාට මෙය පාරේ දී සම්බ වී එය ඔහුගේ ඉඩම් හිමියාට භාර දෙන ලදින්. ඉඩම් හිමියා එය නගරාධිපතිවරයාට එවීය. මේ පුවත ද ගම පුරා පතළ විය. හකීම් ගේ නිදොස්‌ බව ඔප්පු විය. හෙතෙම විජයග්‍රාහී වුයේ ය. ප්‍රිතියෙන් ඉපිළී ගියේ ය. නැති වී ගිය හොඳ නම් යළිත් ලබා ගත්තෙමැ යි පස්‌ වනක්‌ ප්‍රීතියෙන් පිනා ගියේ ය.


"මෙහෙමත් බොරු කියන මිනිස්‌සු සිටිනවා නෙ" යනුවෙන් ඔහු යන යන හැම තැන ම ස්‌වකී ය විස්‌මය පළ කළේ ඒ බොරුව ගෙතූ මළදාන පසමිතුරාට අවලාද මුඛයෙනි.


දවසක්‌ හකීම් මළදාගේ කඩ පිල පසුකරමින් මාර්ගයේ යද්දී එහි සිටි එක්‌ මිහිහෙක්‌ හකීම් දෙස බලා "තුං" යන අනුකරණයෙන් මහා මාර්ගයට කෙළ පිඩක්‌ ගැසී ය.


"තක්‌කඩියා" යි එකෙක්‌ කී ය.


"ඕකා හොරා" යැයි තවෙකෙක්‌ කෑ ගැවේ ය. හකීම් නැවත වරක්‌ පුදුමයට පත් විය. මුදල් සහිත පොත ලැබීමෙන් පසුත් - තමාගේ නිදොස්‌ බව ඔප්පු වීමෙන් පසුත්, මිනිසුන් තමාට කෙළ ගැසීම, නින්දා පරිභව කිරීම ඔහුට ඉවසිය නොදෙන කරුණක්‌ විය.


"ඇයි මුදල් ටිකත් පොතත් ලැබුණා නො වැ" යි එකෙක්‌ කී ය.


"ලැබුණා නොවෙන්නම් මුලින් එය අහුලා වසන් කර ගෙන හිටලා, පසු ව හිරේ යාවි යි භයෙන් ම යාළුවකු අත එ එව් විත්තිය අපි දන්නේ නෑත්දෑ" යි අනෙකා කොක්‌ හඬලා සිනාසුණේ ය. හකීම්ගේ සිත තදින් ම පෑරුණේය. ඊටපසු සතියේ ඔහු අඟහරුවාදා පොළට යන විට එහි රැස්‌ වූ හැරම ගොවියකු ම ගෙවිලියක ම හකීම් දෙස බැලුවේ ඉතා පිළිකුලිනි.


"තක්‌කඩියා"
"හොරා"
"බොරු කාරයා" යනු ඔහුට ලැබුණු විරුදාවලි ය. සිත පෑරී ගිය හකීම් තෙමේ තමාගේ නිර්දෝෂී භාවය යනහැම තැනත්. මඟ දිගටත්
ගෙයින් ගෙටත් කියාගෙන ගියේ ය.


"මා අහුලා ගත්තේ නූල් කෑල්ල, මම හොරෙක්‌ නො වෙයි"


එහෙත් සියල්ලෝ ම සිණාසුණහ. කොල්ලෝ සරදමින් වැඩ ගත්හ.


"හීන් නූලේ හොරා"


එය නොවැම්බර් මාසය විය. සිත පෑරුණු හකීම්ගේ ශරීරය දුර්වල වන්නට වූයේ ය. දෙසැම්බර් අවසානයේ දී හෙතෙම ඔත්පල ව ඇඳට වැටුණේ ය. ජනවාරි මාසයේ මුල හරියේ දී හෙතෙම අවසන් හුස්‌ම හෙලී ය.


"හා අහුලා ගත්තේ නූළ් කෑල්ල, නගරාධිපතිතුමනි, මම හොරෙක්‌ නොවෙයි" යනු අවසන් සයනයේ දී ඔහු කී අවසන් වචන කීපය ය.


පැහැදිලි කිරීම


පසමිතුරා - සතුරා, විරුද්ධකාරයා
කේවල් කරන - හෙට්‌ටු කරන මිල, අඩු කර ඉල්ලන
කාල වර්ණ - කළු පැහැති
විරුදාවලිය - පට බැඳනම
සයනයේ - ඇඳේ


අවබෝධය


1. ගොදාවිලාහි ගොවියන් පිළිබඳ ව මෙහි සඳහන් වන දෑ මොනවා ද? .
2. පොළට යන ගොවියෝ, ගෙවිලියෝ කුමන ක්‍රියාවල යෙදී සිටියෝ ද?
3. වෙළෙඳ පොළේ අපිරිසිදු බව ගැමියන්ට නො දැනුණි. ඒ ඇයි ?
4. හකීම් නොවටිනා නූල් කෑල්ලක්‌ අහුලා ගැනීමට පෙළඹුණේ මන් ද?
5. නූල් කෑල්ල ප්‍රවේසමෙන් සඟවා ගැනීමට හකීම් කල්පනා කළේ ඇයි ?ං
6. බත් කඩේ සිටි අය හැසිරුණු හැටි කෙලෙස ද?
7. අණ බෙරයෙන් කියවුණු පණිවිඩය කුමක්‌ ද?
8. බොජුන් හලේ සිටියවුන්ගේ කථාව කුමක්‌ පිළිබඳ ව ද?
9. පොලීසිය හකීම් සොයා පැමිණියේ ඇයි ?
10. හකීම් නිදහසට කී කරුණු නගරාධිපති නොපිළිගත්තේ කුමක්‌ නිසා ද?
11. මුදල් පසුම්බිය හමු වූ පසුත් හකීම් "ඕකා හොරා" යනුවෙන් පරිභව කිරීමට පෙළඹුණේ කවර හෙයින් ද?
12. හකීම්ගේ අවසානය කෙසේ සිදු වී ද?


වියරණ හුරුව


ගොවිලියෝ කුකුළු පැටවුන් විකුණති.


ගෙවිලියන් විසින් කුකුල් පැටව් විකිණෙති. විකුනනු ලබති.
විකුණනු ලැබෙති.


මෙහි මුල් වාක්‍යයේ කර්තෘ උක්‌ත වී ඇත. එය කර්කෘකාරක වාක්‍යයකි දෙ වන වාක්‍යයේ කර්මසය උක්‌ත වී ඇත. ඒ කර්මකාරක වාක්‍යයකි.


කර්කෘකාරක වාක්‍යයක්‌ කර්මකාරක වාක්‍යයක්‌ බවට පෙරළිමේ දී සිදුවන පහත දැක්‌වෙන වෙනස්‌කම් සිතට ගන්න.


1. වැකියේ කර්තෘ පදය (ගෙවිලියෝ) අනුක්‌ත වී (ගෙවිලියන්) 'විසින්' නිපාතය සමඟ යෙදේ.


උදා :- ගෙවිලියන් විසින් කැකුළු පැටවු විකිණෙති.


2. කර්මය උක්‌ත රූපය ගනී. මුල්, වැකියේ කුකුළු පැටවුන් යන කර්ම පදය 'කුකුළු පැටවු' යන අයුරින් උක්‌ක රූපය ගනී,


උදා : ගෙවිලියන් විසින් කුකුළු පැටව් විකිණෙති.


3. ආඛ්‍යාතය කර්ම කාරකයට පෙරළී කර්මය අනුව ඒක වචනය හෝ බහු වචනය හෝ ගනී. ලද, ලබ, ධාතුවෙන් ද ආඛ්‍යාතය අවසන් කළ හැකි ය.


උදා : ගෙවිලියන් විසින් කුකුළු පැටවු විකිණෙති. විකුණනු ලබති, විකුණනු ලැබෙති.


මේ අයුරින් කර්කෘකාරක වාක්‍ය කීපයක්‌ කර්මකාරයකයට පෙරළී ඇති සැටි විමසන්න.
කර්තෘකාරක : මව දරුවා නළවයි· නළවන්නීය.
කර්මකාරක : මව විසින් දරුවා නැළවෙයි· නළවනු ලබයි. 
කර්තෘකාරක : දැරිය ගී ගැයුවා ය.
කර්මකාරක : දැරිය විසින් ග