දහතුන්වන පිටුව
 


 

පින් මිස නෑයන් වන පිහිටෙක්‌ නැත
උන් ගෙන් මතු හිමි වන දෙයෙකුත් නැත
මින් මතු අද හා සිහි කර තොත් සත
අන් කුසලක්‌ නොකළත් මෙ ම දේ ඇත

පුරවා සත් රුවනින් මුළු දෙරණය
කරවා පායක්‌ බඹලොව පමණය
මඳ වා රන් දද ලා මිණි තොරණය
දෙනවා ටත් වැඩි පින් බුත්සරණය

අපමණ සැප සපයා දෙන සත හට
කුරුපණ අවබිය පැවතුම් නැති කොට
බුදු බණ ලෙස පැවතුම් නැති තොපට
තිසරණ මිස පිහිටෙක්‌ නැත සසරට

අසමින් මේ දහම් අලසව නොයිඳේ
පුරමින් මෙ සියලු පින්කම් නිබඳේ
කෙලෙසුන් මුල් නොතබා සිත පසිඳේ
ලැබගත් සඟ මොක්‌ මතු දුක්‌ නොවිඳේ

සිහපත් එකෙක්‌ පෙර අනුරුදු තෙරුන් දැක
තමලත් බතින් දුන්නේ එක මැ සැන්දෙක
බලවත් එයින් සුරපති විය ඉන්දක
නියවත් කරව් දන් පින් පල මෙයින් දැක

දවසක්‌ පමණ සිල් රැකි කුලඟනක්‌ පෙරා
දහසක්‌ සුරඹ පිරිවරමින් රුවින් සරා
තවසක්‌ දෙවිඳු ළඟ සිරි විඳ නිරන්තරා
විගසක්‌ එසිල් තොර නොකරව සිතින් දරා

කෙලෙසුන් සිතින් තොර කල් සිතු තනා මය
නිඳුකින් ලැබෙයි බඹලොව සැප මනා මය
සුදුසුන් නිවන් දෙයි මරසෙන් දිනාමය
පිනෙකින් උතුම් පින නම් බාවනාමය

කළ පින් දීම නඝ් තම සිත සතුටු කොට
බැඳි රන් හිණෙක දෙව් ලෝ සයට නැඟුමට
නැති පුන් සඳෙක අව බිය ගිම් නිව්මට
නිති පින් එයින් දෙව් දුටු දුටු දනන් හට

දන් දෙන සඳෙහි දෙව්රම් වෙහෙරැ මුනිඳුට
පින් අනුමෝදන් වූ මිනිසෙක්‌ එතැන සිට
පින් ලැබ ගතිය වැඩි කරමින් ම සිටු හට
ඉන් දුන නුදුන කිම අනුමොදනා වට

බුදුන් දෙසන බණ මිහිරෙන් ම සිත තැනී
පසින් වැ උන් මැඩියෙකු කෙවිටෙකින් ඇනී
එයින් මිය තිදසි ලද ඉසුරු නොපමනි
මෙවන් දහම් ඇසුමට මැළි නොවව් දනී

(c) Shilpa Sayura Foundation 2006-2017