නික්‌මෙන නිරයට නරයින් සිරිති
දුක් දෙන අඹු දරුවන් නිති රකිති
මොක් දෙන පිරිසිදු සිල් නොමැ රකිති
නොලදත් අහරක් සාදුක් දුරු කොට
නැතුවත් කඩ රෙද්දක් එක පටකට
බලවත් නිරයේ තද දුක් සිහිකොට
මඳකුත් පසු නොබසිව් තෙපි පිනකට
නසතොත් සිත ලොබ අනුවන දෙස මය
වසතොත් සැදැහැත්තන් ඇති දෙස මය
දෙසතොත් සඟ මොක් දෙන පඋදෙස මය
අසතොත් මුනිදුන් වදහළ බස මය
වැනුවා නම් බුදුගුණ වැනුවාමය
තැනුවා නම් තම සිත තැනුවාමය
දෙනුවා නම් දන් පින් දෙනුවාමය
දිනුවා නම් පරලොව දිනුවාමය
අසතොත් නිබොරුවැ මුනිඳු තෙපුල්මය
හරිතොත් නොතබා දස අකුසල්මය
රකිතොත් සිත පිරිසිදු කොට සිල්මය
දනිතොත් මෙසියල්ලටම මේ කල්මය
මෙ සසර රුක දුක් විස පලගත් අතු
ලෙස සිටියා මෙන් සිය පලයෙන් යුතු
දොත වඩමින් ඉන් බැහැර නොලා සිතු
දස අකුසල් පල අසව මෙයින් මතු
බුදු බණ අසමින් සිත සතපායේ
කුරුපණ කම් ඇර පිය එපායේ
පරපණ නැසුවොත් කවර උපායේ
අපමණ දුක් දෙයි සතර අපායේ
මැඩියන් නයි මුව ගොදුරු වැ ඉඳයා
පණුවන් කන මෙන් රස විඳ විඳයා
සැලෙමින් ජර ගොර මරු මුව වැදයා
බලමුන් පර පණ වනසන ලෙදයා
බලයෙන් වත් කිසියම් සොර සිතකින්
සියතින් වත් දැන් වූ උපදෙසකින්
පරසන් තක දෙය ගත සොර කමෙකින්
නිරයෙන් නිරයට පැමිණෙයි එතෙකින්
ලොබිනා මිහිරි වැ සොරකම් කළ සත
විඳිනා දුක් මේ ලොව මෙතෙකැයි නැත
මෙදිනා ඒ දැක ඉන් නොනැවත
ඉඳිනා කල කිකලක වේ දෝ සෙත ?