1789 මුළු ලෝක ඉතිහාසයේම වැදගත් තැනක් දැරූ වප්ලවයක් ප්‍රංශයේ උද්ගත විය. එම විප්ලවය ඇත්තෙන්ම ඇති වූයේ ප්‍රංශ සමාජයේ වූ යම් යම් දූෂණ නිසා බව දැකිය හැකිය.
1789 ප්‍රංශයේ විප්ලවය ඇති වීමට පෙර ප්‍රංශ සමාජය විප්ලවයක් කරා පා නැගු වැදගත් අවස්‌ථා කීපයක් දැකිය හැකි අතර ඇත්තෙන්ම ප්‍රංශ විප්ලවය ද හදිසියේ ඇති වූවක් නොව පියවරෙන් පියවර නැගි ව්‍යාපාරයක අවසාන ප්‍රතිඵලයකැයි මැනවින් පැහැදිලි කළ හැකිය.
ප්‍රංශ විප්ලවයට පෙර ප්‍රංශයේ වූයේ රාජාණ්‌ඩුවකි. සමාජය හැඩ ගැසුණේ මධ්‍යතන යුගයේ සමාජ ක්‍රමයට ඉතාමත් සම්බන්ධතාවක් ඇති පරිදි වන අතර වැඩ වසම් සමාජ ක්‍රමයකට හුරුව එය සැකසී තිබුණි. ප්‍රංශ ආර්ථික ක්‍රමය ද මේ වන විට ඉතාමත් පහත් තත්ත්වයක තිබූ අතර අධිකරණ ක්‍රමයද සැකසී තිබුණේ කිසිම න්‍යායක් අනුව නොවේ.
ප්‍රංශ විප්ලවයට පෙර ප්‍රංශ සමාජයේ තිබූ වැරදි එකිනෙක ගෙන බැලීමේදී දේශපාලනික අංශය ප්‍රධාන තැනකට සාකච්ඡා කළ හැකිය. ප්‍රංශයේ වූයේ රජ ප්‍රමුඛ දේශපාලන වරප්‍රසාද බැහැර වූ උසස් රදළයින්ගේ සහ උසස් පූජකයින්ගේ බලපෑමෙන් යුත් පාලන ක්‍රමයකි. දේශපාලන අංශයෙන් 'ප්‍රාග්ධන පටිපාටිය' ක්‍රියාත්මක වූ දේශපාලන අංශය වූ අතර, රජු ත්‍රිවිධ බලතල දරමින් පාලනය ගෙන ගියේය. ත්‍රිවිධ බලතල යයි හැඳින්වූයේ ව්‍යවස්‌ථාදායක, විධායක සහ අධිකරණ බලතලයි. 16 වන ලුවී රජු දේශපාලන බලය ක්‍රියාත්මක කිරීමෙහිලා මේ අවස්‌ථාව වන විට දක්‌ෂයකු නොවූ අතර, මේ නිසා පාලනයේ දූෂණ තිබුණි.
16 වන ලුවීට විශේෂයෙන්ම දේශපාලනයේ දී බලපෑවේ ඕස්‌ට්‍රියානු බිසව වූ මාරි ඇන්ටොයිනට් බිසවයි. මේ අනුව දේශපාලනික අංශයෙන් ඕස්‌ට්‍රියානු බලපෑම අනුව ඒකාධිපති රජෙකුගේ අදක්‌ෂ ක්‍රියා කලාපයක් 16 වන ලුවී රජ විසින් ගෙන ගිය බව දැකිය හැකිය. රදළයින් දේශපාලන බලපෑමෙන් 14 වන ලුවී දවස පටන් තොරව සිටි බැවින් ඔවුන්ට වූයේ සමාජ වරප්‍රසාද පමණකි.
'ස්‌ටේටිස් ජෙනරාලය' නම් ප්‍රංශ මන්ත්‍රණ සභාව අවුරුදු ගණනාවක්‌ම නොකැඳ වූ නිසා දේශපාලනික අංශයෙන් කිසිවකුගේ සහයක් හෝ අනුබලයක් 16 වන ලුවී රජු ප්‍රමුඛ ඇමති මඩුල්ලට නොලැබුණේය. සහායක් නොලැබීම නිසා 16 වන ලුවීගේ කැමැත්ත පරිදි පාලනයක් ගෙන ගියේ යැයි කීවොත් ඒද නිවැරදිය. දේශපාලනික වශයෙන් ප්‍රංශ රාජත්වය 14 වන ලුවීගෙන් ආ අදක්‌ෂ රජුන් දෙදෙනෙකු වන 15 වන හා 16 වන ලුවී දවස ඉතාමත්ම දුර්වල වූබව කිව හැකි අතර 14 වන ලුවී තරම් පාලනය ගෙන යාමේ හැකියාවක් ඔවුන්ට නොවූ බව ද කිව යුතුය. රාජත්වය කොතරම් දුබල වී තිබුණේද යත් පළවැනි නැපෝලියන් ඔටුණු පැළඳීමේ දී 'කාණුවකින් තමා විසින් සිංහාසනය ඇහිදගත් බව' කීමෙන් තිබූ දුර්වලත්වය මොනවට පැහැදිලි වේ.
ප්‍රංශයේ අධිකරණ ක්‍රමයට අනුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට නීති මාලාවන් ගණනාවක්‌ම ක්‍රියාත්මක වූයේය. නීතියේ සමානතාවයක් කිසිසේත්ම දක්‌නට ලැබුණේ නැත. අධිකරණ උසාවි ගණනාවක්‌ම තිබූ අතර රදළයින්ගේ වරප්‍රසාද එම උසාවි මගින් රැකුණි. කිසිම විනිශ්චයක් නොමැතිව මිනිසුන් අසාධාරණ ලෙස මරණයට පත්කිරීමටත්, සිරකර තැබීමටත් හැකි වූ අතර රදළයින් මෙම උසාවි වල වරප්‍රසාද ලැබූ විනිශ්චය කරුවන් වීම තවත් වැදගත් අධිකරණ අඩුපාඩුවක් විය.
ආර්ථික වශයෙන් බලන කළ රදළයෝ විශේෂ වරප්‍රසාද ලද්දෝ වූහ. එරට ජනගහණයෙන් සියයට 92 ක් පමණ වන ගොවි ජනතාව ආර්ථික පීඩනයෙන් වෙලී සිටි පිරිසක් විය. ප්‍රංශ විප්ලවයට පෙර ප්‍රංශ සමාජයේ ප්‍රවේනි දාසයින් ලෙස ගැනුණු ගොවි ජන කොටස සුළු වුවද, ප්‍රංශ ගොවි ජනතාව රදළයින්ට, පූජක සභාවට සහ රජයට බදු ගෙවිය යුතු විය. මුදලින් ගෙවන ගෙවීම් 'සෙන්ස්' යනුවෙන්ද, භෝගයෙන් ගෙවන ගෙවීම් 'චැමිපාමි' යනුවෙන්ද හැදින්විණි. වර්ෂ දහයකට වරක් හෝ වර්ෂ තිහකට වරක් ඉඩම් බද්දක් ගෙවීමට ගොවීන්ට සිදුවිය. රාජකීය බදු වශයෙන් ඇඟ බද්දත්, තිරිඟු බද්දත්, ගැබොල් නැමැති ලුණු බද්දත් ගෙවීමට සිදුවිය. මේ හැර 'දස භාගය' නම් සියයට දහයක බඳු ප්‍රමාණයක් පූජක සභාවට ගෙවිය යුතු වූ මේ බද්ද 14% දක්‌වා වැඩි කළේය.
ප්‍රංශ ආර්ථික ක්‍රමය දෙස බලන විට ගොවි ජනයාගේ ආර්ථික තත්ත්වය ඉතාම පහත් අඩියක තිබූ බවත් ගොවිජනයා ආර්ථික අතින් පීඩිත ජනතාවක් වූ බවත් පැහැදිලිය. 1786 දී ප්‍රංශය හා එංගලන්තය අතර ඇතිවූ ඊඩියන්හි ගිවිසුමින් ප්‍රංශ වෙළඳ පොළට එංගලන්ත භාණ්‌ඩ තීරු බඳු නොමැතිව ලබාගැනීමට හැකිවූයෙන් ප්‍රංශයේ ගෘහ කර්මාන්ත පිරිහුණු තත්ත්වයක් ඇතිවිය. මින් සිදු වූයේ රැකියා නොමැති පිරිසක් ප්‍රංශයේ ඇති වීමය. ප්‍රංශ තීරු බදු ප්‍රතිපත්තිය සැකසී තිබුණේ ක්‍රමාණුකුලව නොවේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට තීරු බදු අය කළ බව පෙනී යන අතර ආර්ථික දුර්වලතාවයෙන් පෙළෙමින් සිටි ප්‍රංශයට විශේෂයෙන්ම ගොවි ජනතාවට ආර්ථික අතින් අසහනයක් ඇති විය. ප්‍රංශයේ නියම මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවුණු අතර මැනුම් කිරුම් ක්‍රම යනාදිය පවා ක්‍රමාණුකුල පරිදි නොවීය.
ප්‍රංශ ආර්ථික ක්‍රමය කොතෙක් දුරට දුර්වල වීද යත් ප්‍රංශ විප්ලවය ආසන්නයේ දී එරට භාණ්‌ඩාගාරයේ හිඟ මුදල ෆ්රෑන්ක් දස ලක්‌ෂ හාරසියයක් පමණ විය. වෙසෙසින්ම ප්‍රංශය ආර්ථික අතින් බෙලහීන තත්ත්වයකට පත්වූයේ ඇමරිකන් නිදහස් විප්ලවයට ආධාර මුදලින් මෙන්ම සේනා අතින්ද සැපයීම නිසාය. ප්‍රංශ විප්ලවය ආසන්නයේ ආර්ථික තත්ත්වය කොතරම් දුර්වල වීද යත් ඇතිවූ නියඟයකින් ප්‍රංශ පට පිලි හා කපු පිලි කර්මාන්තය සහමුලින්ම පාහේ බිඳ වැටිණි. එයින් තව දුරටත් රැකියා අහිමි පිරිස වැඩිවීමත් සමඟ තත්ත්වය වඩ වඩාත් බරපතල විය. ප්‍රංශ ආර්ථිකය මෙතරම් පහත්ව තිබියදීත් ගොවි ජනයා වෙතින් පමණක් බදු ගැනීම සිදුවූයෙන් රජයේ ක්‍රියාමාර්ගය සාධාරණ නොවීය. ටූගෝ නම් මුදල් ඇමතිවරයා පිරිහී ගිය ආර්ථිකයට පිළියමක් වශයෙන් රදළයින්ගෙන් ද බදු ගැනීමට යෝජනා කළේය. ටූගෝ ගේ ප්‍රතිපත්තිය රජයේ අවධානයට ලක් නොවූයෙන් මුදල් ඇමති ධූරයෙන්ද ඔහුට ඉල්ලා අස්‌වීමට සිදුවිය. පිරිහුණු ආර්ථික තත්ත්වය සලකා එරට වැසියන් ඉඩම් ලබාගැනීමට, බදු වලින් මිදීමට, රැකියා ලබාගැනීමට, රදළයින්ගේ වරප්‍රසාද නැති කිරීමට යන සෑම කරුණක් සඳහාම ප්‍රංශයේ පහත් පංතිය යයි සැලකුණු ගොවි ජනතාව පෙත්සම් මගින් කරුණු කියා සිටියහ.
මෙලෙස දුර්වලතාවයෙන් හෙබි ප්‍රංශ රාජ්‍යය තුළ උසස් පන්තිය වූයේ රජ, රදළ, පූජක යන ත්‍රිවිධ පන්තීන්ය. සමාජයේ වරප්‍රසාද ලද්දෝ ඔවුහුම වූහ. පහත් පන්තිය වශයෙන් ගැනුණේ ප්‍රංශයේ 92% ක්‌වූ ගොවි ජනතාවයි. සමාජයේ කිසිම වරප්‍රසාදයක් ඔවුන්ට හිමි නොවීය. ගොවි ජනතාව 'ප්‍රවේනිදාස' යයි මධ්‍යතන යුගයේදී ගැනුණ අඩවහලුන් සමාන පිරිසක් නොවූවද, ඉඩම් හිමියන් නොවීමත්, රදළයින්ට ගැතිවීමත් නිසා ඔවුහු බොහෝ දුරටම නිදහස් පිරිසක් නොවූහ. රදළයින් අතරින්ද රජ මාළිගයේ රදළවරුන්, දිසා භාර රදළවරුන්, ප්‍රදේශ ප්‍රභුවරුන් යයි කොටස් කීපයක් වූහ. අන් සෑම වරප්‍රසාදයක්‌ම රදළයින්ට හිමි වූ අතර දේශපාලන වරප්‍රසාද පමණක් ඔවුන්ගෙන් බැහැරවිය. සුඛෝපභෝගි ජීවිත ගත කළ රදළයින් පහත් පන්තියේ ගොවි ජනයාගේ ශ්‍රමය සූරා කෑ පිරිසක් වූහ.
පූජකයන් ගෙන බලන විට උසස් පන්තියේ පූජකයන් සහ පහත් පන්තියේ පූජකයන් යයි දෙකොටසක් විය. උසස් පන්තියේ පූජකයන්ගෙන් අධ්‍යාත්මික වශයෙන් සමාජයට කිසිවක් සිදු නොවූ අතර, පහත් පන්තියේ පූජකයන් මහජනයාගේ ආගමානුකුල දිවි පෙවෙත සැකසීමේලා උපකාර වූ කොටසක් වූහ. මෙම පූජක කොටසට උසස් පූජකයන්ට මෙන් සමාජ වරප්‍රසාද කිසිවක් හිමි වූයේ නොවීය. ප්‍රංශ සමාජයේ මෙලෙස ත්‍රිවිධාකාරව බෙදී සිටි අතර සමාජයේ තිබූ දේශපාලනික, ආර්ථික, සාමාජික සෑම දුර්වලතාවක්‌ම ඇති වූයේ උසස් පන්තිය ලෙස ගැනුණු රජ රදළ යන කොටසේ දුර්වලකම නිසා බව පැහැදිලි වේ.
ප්‍රංශ විප්ලවය ආසන්නයේ දී ප්‍රංශ රජුගේ බිසව මාරි ඇන්ටොයිනට්‌ගේ කියමනකින් ප්‍රංශ සමාජය පිළිබඳ ප්‍රංශයේ උසස්‌ම කාන්තාව වූ ඇයට කිසිම අවබෝධයක් නොතිබූ ආකාරය පැහැදිලි වේ. ප්‍රංශ ජනතාව තමන්ට කෑමට පාන් නොමැති යයි කී විට කේක් නොඉල්ලන්නේ මන්දැයි ඇසීමෙන් ප්‍රංශ සමාජයේ පරතරය හොදින්ම පැහැදිලි වන අතර උසස් පන්තිය පහත් පන්තිය සම්බන්ධව දැන නොසිටි බව අනාවරණය වේ. ප්‍රංශ සමාජයේ මධ්‍යම පාන්තිකයන්ටද මේ අවධියේ සමාජයේ කිසිම වරප්‍රසාදයක් නොතිබූ බව පෙනේ. මධ්‍යම පන්තිය නූතන යුගයේදී සෑම රටකම පාහේ දියුණු වෙමින් පැවති පන්තියක් බව පෙනී යන අතර, ප්‍රංශයේ මධ්‍යම පන්තිය මුදල් අතින් ධනවත් වුවද එම ධනය ආයෝජනය කිරීමෙහිලා ක්‍රමයක් නොමැති වී සිටි පිරිසක් වූ බව පෙනේ. මුදල් යෙදවී නම් යෙදවූයේ ප්‍රංශයේ භාණ්‌ඩාගාරයේ අයවැය හිඟය පියවීමට ය. විප්ලවයට ආසන්නයේ දී තමන් යෙදවූ මුදලට පෙරළා පොලියත් සමඟ මුදල් නොලැබීම නිසා ඔවුන්ද නැවත මුදල් නොයොදවා නිහඬ වූහ. මධ්‍යම පන්තිය තිබූ දේශපාලන හා ආර්ථික සාමාජික ක්‍රමවලට එරෙහිව යා හැකි නම් එවැනි අවස්‌ථාක් උදාවන තුරු බලා සිටි පිරිසක් බවට පත්ව සිටියහ.
ප්‍රංශ විප්ලවයට පෙර පැවති සමාජය පිළිබඳ කරුණු සොයන විට විප්ලවයට වසර පනහකට පමණ පෙර සිටි චින්තකයන්ගේ අදහස් උදහස්‌ද, සමාජයේ තිබූ වැරදි හුවා දැක්‌වීම සඳහා උපයෝගි වූ බව ද අමතක නොකළ හැකිය. චින්තකයන්ගේ මත නිසා ඇත්තෙන්ම පාලකයා කෙබඳු විය යුතුද? ඔහුගෙන් රටට සමාජයට ඉටුවිය යුතු සේවය කුමක්‌ද? යන සෑම කරුණක්‌ම ප්‍රංශ සමාජයට පෙනී ගිය අතර පෞද්ගලික නිදහස, සමානත්වය පිළිබඳ හැඟීම්ද මෙම දාර්ශනිකයන්ගේ මත නිසා සමාජයට හැගී ගොස් තිබූ බවද පෙනේ. සමූහආණ්‌ඩුවක් පිළිබඳ අදහස් ඉදිරිපත් කළ රූසෝ 'සමාජ සම්මුති වාදය' යන ග්‍රන්ථයෙන් මිනිසා සෑම තැනකම උපදින්නේ නිදහස්‌ව බවත්, එහෙත් සමාජයේ බැමි වලින් ඔහු බැඳී ඇති බවටත් කළ ප්‍රකාශය ප්‍රංශ ජනතාව නිදහස පතා නැඟී සිටින්නට උපයෝගි වූ බව කිව හැකිය.
ප්‍රංශ විප්ලවයට ආසන්න හේතු ලෙසින් ප්‍රංශයේ භාණ්‌ඩාගාරය හිස් වීම, රජු විසින් අවසානයේ බදු ලැබීම සඳහා කුමක් කළ යුතුද පිරික්‌සීමට ප්‍රභුන්ගේ සභාව කැඳවීම සහ රදළයින්ගෙන් බදු අයකර ගැනීම සහ රදළ විරෝධයට ලක්‌වීම ආදි කරුණු ද වේ. අවසානයේ අවුරුදු එකසිය හැත්තෑ පහක් නොකැඳවා තිබූ 'ස්‌ටේට්‌ස් ජෙනරාලය' කැඳවීම සහ ඊට පසුව ප්‍රංශ කලහකාරි ජනතාව විසින් රදළයින්ට සහ පූජකයින්ටත් පැරණි පැලන සංස්‌ථාවටත් විරුද්ධව 1789 ජූලි 14 වන දින ප්‍රංශ බණ්‌ධනාගාරය වූ බැස්‌ටීලයට පහර එල්ල කිරීමෙන් අවසානයේ දී මුළු ලෝකයාගේම විමසිල්ලට ලක්‌වූ ප්‍රංශ මහා විප්ලවය ඇතිවීම ඉහත කී කරුණු විග්‍රහ කිරීමෙන් පැහැදිලි වේ. ප්‍රංශ විප්ලවය මධ්‍යම පාන්තිකයන්ගේ විප්ලවයකැයිද, රදළ පාන්තිකයින්ගේද, ගොවි ජනයාගේද විප්ලවයක් යයි ද එක් එක් අය මත ප්‍රකාශ කරති.