පස්වන පිටුව
 


 

උඩු සුළඟට අල්වාගෙන යන්නේ
තණසුළ නොදණි නම් අත දන්නේ
වරපල යයි කම්රස තෙපලන්නේ
එද කළ කම් නිරයේ පැසවන්නේ

පිරුලෙන් අරගත් අභරණ මගුලට
දමමින් ගැතිවන අය මෙන් අනුනට
පෙරමින් ඇති තෙක්‌ විඳිනා සැපතට
තෙපි දැන් උඩගුව නොවදිවු නිරයට

වදයට බැඳගෙන ගෙන යන සොරු ටා
වද මල්දම් ලූ බෙර පිරිවර ටා
ලද ඉසුරෙහි ලොබ වූ වොත් තොප ටා
එද සැසතෙහි කළ කම් මරු රව ටා

දැමුවෙන් ගිරි මුදුනෙන් ගෙන සොරු ටා
පවනින් කම් නැති මෙන් ඇඟ ගිම ටා
ජරයෙන් මිදෙමින් යන මරු මුව ටා
සැපතින් කිම ඉන් කම් කළ තොප ටා

අලවන මේ කම්රස දෙස විමසා
පලයට තපසට පුළුවන් වයසා
පල රස විඳ ගස උඩ උන් මිනිසා
මුල සිඳිනා තෙක්‌ ඉඳිදෝ නොබැසා

බණ නම් නිබොරුය මුනිවරයන් නේ
කය නම් නොතිරය අදහා ගන්නේ
පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ
පිණ නම් නොපමා වම කර ගන්නේ

අසන් මෙමා කී දෙය වැඩ ඇති වන
පසන් සිතින් උන්නත් පව් කරමින
උපන් නොතින් මතු යක්‌ බූ පිසසුන
සයින් ඇවිද පිණකුත් බැරි එ පවින

ලොබේ සිතින් පව් කළ හැම සත ටා
සබේ කියති ගෙන ගොස්‌ යම රජු ටා
ඉබේ ඉන්ට නොයෙදී සිතු රඟ ටා
ලැබේ නිරා දුක්‌ පැමිණේ එවි ටා

තොසින් නොයෙක්‌ සැප විඳ සමහරු නිති
ඇසින් ම දැක පව් පින් කළවුන් ගති
බසින් නිවන් අදහා පින් නොකරති
ගොසින් නිරේ වැටුනොත් දුක්‌ හිමි නැති

පින් පව් නොදැන මැ අනුවණ කම් කොට
කන් නන් මස්‌ රස සොඳමැයි කර තුට
ඉන් ගැලවෙනු බැරි නොගොසින් නිරයට
දැන් එම ආලය අරිනේ අද සිට

(c) Shilpa Sayura Foundation 2006-2017