හැම විට පිනට ම සිත පාදන්නේ
නිවනට මග එමවද සාදන්නේ
වැඩකට කී බස් කිම ? නාදන්නේ
නිරය ට වන් කලදෝ තොප දන්නේ
මොක් සිරි දෙන මුනිඳුන්ගේ උපතෙකි
කප් කෙළ සිය දහසකිනුත් නොලදකි
පත් වූ ඒ බුදුන්ගෙන් යුත් මෙ කලෙකි
එත් වැරදුණ තැන පරලොව පිහිටෙක
අත් වැඩ පර වැඩ සමව සිතන්නේ
මෙත් සිත පවසන කෙරෙහි කරන්නේ
එත් බැරි නම් තොප සසර ගෙවන්නේ
සෙත් පුර සැප කෙලෙසකද ලබන්නේ
මස් ලේ නැති ඇට බලු ලෙවැකන්නේ
කුස් පිරුමක් පළයක් නො බලන්නේ
ලෙස් ඒ සැපතෙහි සැප නොසිතන්නේ
දොස් නොපෙනෙනු මිස දුක්‌මයි වන්නේ
මස් කැටියක් ගත් උකුසෙකු අහසේ
මස් නොදැමුව උකුසන්ගෙන් වැනැසේ
පස් කම් රස ලොබ කළහොත් එමැසේ
පස් විසි මහ බයකින් දුක් සැලසේ
සෙත සලසන මුනි බණ ඇත සුමිහිරි
ඇත තොපගේ කන් ඇසුමට නොබිහිරි
නැත කරණට පිණකුත් මෙ තොපට බැරි
සතර අපා දුක් වද විඳිනට බැරි ?
කරන කලට පව් මිහිරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
ඇඳින එ පව් දුරලන උපදේසේ
නුදුන මැනැවි තුන්දොර අවකාසේ
අදමින් ජීවත් වෙනවා විතරට
දැහමෙන් මිය යනු සොඳමැයි දන හට
මෙලෙසින් වදහළ මුණි බණ සිහි කොට
සැබැවින් පින් කොට පැමිණෙවු නිවනට
එකම සතෙකු තම මව් මළ දුකටා
වෙනම හැඩූ කඳුළේ බිඳු වලටා
මෙහැම මුහුදු දිය අඩුවන කලටා
තව ම සසර ආලය ඇයි තොපටා
ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ
සැපයක් යයි කකුළුව දිය කෙළියේ
එපමණ තොප සිතතොත් නො හකෙළියේ
සැපයක් නම් නැත කම් රස කෙළියේ
![](/sayura/images/logo2.png)