කලෙකත් නොලැබෙයි සෙම්සොටු පමණත්
උගුරක් නොතෙමෙයි සුරඟග වැටුණත්
කලෙකත් පින් නොකළැකි මැයි සිතුනත්
පව් මිසැ පිණෙකැයි නොකරන හැම කල
මුනිබණ නොපවතිනා පිටසක්‌වල
නිසි ලෙස උපනත් ලැබ දන මනකල
කිසි කලෙකත් කුසලක් නොකලැකි බල
දද මිනිසුන් බස්‌ගෙන කිසි කලෙකය
තද අකුසල් කොට කුසළින් වැළකය
අඳ ගොළු බිහිරිව ලදුවත් මේකය
මද පිනකුත් නොපිරෙයි බල නිසැකය
සිත මිස කය නැති බඹලොව සතරෙකි
සිත නැති වම් කය ඇති බඹ තලයෙකි
මෙද සත පින් කොට උපදින පෙදෙසෙකි
එහි උපනත් කුසලක් නොම කළ හැකි
බලකොටු වන් තරමේ සසර නුවරේ
මුල සැටු වන් දළු ලන පව් පඳුරේ
විසකටු වන් සඟමොක් මග අතුරේ
මිසදිටු වන් අයටත් පින් නොපිරේ
බුදු කෙනෙකුන් මේ ලොව නූපන් වර
අඳුරෙක් මිස සදහම් නැති මෙ සසර
ඉඳුරා නොදැනෙයි පව් පින් තොරතුර
සිදු නොකළැකි ඉන් සඟ මොක් සිරිසර
සැබැවින් බණ ඇසුවොත් මුනිඳුන් කී
ගොළුවන් බිහිරන් සේ නොව සැලකී
ඉඳිනෙන් මිස තොප කුසලින් වැළකී
මෙලෙසින් පින් නො-කළැකි කල් අටකී
දිගුපුළුලී න් සක්‌වලවන් සිඳු කුස
සියවසකි න් උඩ එන කැස්‌බෑ හිස
වියසිදුරෙ න් නැගෙතත් දුගතිය බැස
තව උපදින් නට බැරි මෙ මිනිස් කුස
කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරැලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ
පස් පව් කොට මෙතනත් ලැබ සෝකය
ගොස් නිරයේ දුක් විඳිති අනේකය
රැස් කොට ඉන් පින් මෙ මිනිස් ලෝකය
සිස් නොකරවු කලකින් ලත් මේ කය