බලයුත් තුමුල මත වරණිදු මෙදෙනැ'විස
දිවතත් සෙද තමන් සොඬ නොමඬින විලස
ලදුවත් නැණැති දන මුළු ලොව ඉසුරු රැස
නොපතන් දෙයක් නොකෙරෙති නිසි දේම මිස
පසක් මුනිදු සමයම නොගෙන සුනිමල
අනික් කුදිටු ගෙන ලෙවි සත නැණ විකල
එමොක් පුරට පැමිණෙත යම් කල එකල
අඳෙක් දැක්‌ක හෙයි වින් පදය නුබ තල
නඳන ගුණ යුතු උතුමෝ මහත
නොගෙන කිසි කරුණු සත සුවපත් කරත
දිලෙන සා මඬුලු යුතු තුරු පෙළ දිමුත
යනෙන සත සතපමින් ගිම් දුර හරින
ඉසුරින් රුවින් සරි අය වෙසෙතත් නොමඳ
කුලුණින් ලොව රකිනු එක් උතුමෙකි පබඳ
මැඬියන් බුදින නා කැල ඇති වද විසඳ
දරමින් දෙරණ සිටිනේ නත නාම වෙද
තැන තැන නිදන් කොට නොතබා හැම දනම
කව පොව යදින්නට දන් දෙව වඩා පෙම
මිගි බැඳි බිඟුන්හට වන ලෙස දැක දැකම
තව තව ලොබින් දන රැස් කොට තබනු කිම
නිතින් දුදන සමගව සුදන විසුව ද
පසන් ගුණෙන් ලොව සතහට වෙති සුහද
රිටුන් විමන ඇති වු කොවුලන්ගෙ නද
අසන් නවුන් යුග සවනට වේය නඳ
නොමින් මග පිනැතියෙක් පසිඳු මෙදියත
කුලෙන් අඩුව උපනත් ලොව නැණැති සත
සොතින් අදර බුහුමන් වඩමින් පුදත
මඬින් උපන් ඉඳුවර පළඳිනෙ'වි මත
බුදිත් මිහිරි ම අඹ රසය සතොසින
ඉඳින් සොඳුරු ගෙ-උයන්වල තුරු මුදුන
සිරිත් මේ ඈ කරගත් කොවුලන් ලෙසින
වසත් කල දැනෙයි රිටු පරපුටු නදින
නෙක රජ රසින් සුරිඳුට සිය ගුණින් වැඩි
රුපු රජ ගජන් එකසර කෙසර ලෙස මැඩි
දින රජ කල පහග බැදි මහඟු රන් කොඩි
සිරි රජ සිඟ රජුගෙ සිරිපද සෙවණ වැඩි
විජමි පෙළ සයුර සැදි මොක් වෙරළතින
සියුම් නිය තලෙන් ගත් කුඹුයොන් සිරිත
උතුම් හිස් වැල්ල නමි ගම හිමි සොබන
දහම් දජ නමැති පඬිවරහට නඳන
නිති සුපසන්න සරසවි රැඳි මුව තඹර
කවි ගජ බින්න කළ තකසර කෙසර යුර
අලගියවන්න මුකවෙටි නමැති කිවිවර
යුතු පද සන්න මේ කව කළෙය අමයුර