වාරි කර්මාන්ත ඉතිහාසය ජනාවාසකරණය තරම් ඈතට විහිදී යයි. විජය රජුගේ ඇමැතියෙකු වු අනුරාධ විසින් වැවක් කරවන ලදැ'යි වංශ කථාවල සඳහන් වී ඇතත් එම වැව කුමක්‌දැ'යි නිවැරදිව හදුනා ගෙන නැත. ප්‍රථම වතාවට වාරි කර්මාන්ත ඉතිහාසයේ වැදගත් ස්‌ථානයක් හිමිවන්නේ පණ්‌ඩුකාභය රජතුමාට ය.
ඔහු අභය වැව, ජය වැව හා ගාමිණී වැව යනුවෙන් වැව් තුනක් කර වු බව මහාවංශයේ සඳහන් වී ඇත. දැනට හදුනා ගෙන ඇති අභය වැව වර්තමානයේ බසවක්‌කුලම යනුවෙන් හැඳින්වේ.
වසභ රජු - ක්‍රි.ව. 67-111
වසභ රජතුමා විශාල වැව් තැනවීමේ ආරම්භකයා ලෙස සැලකේ. එතුමා වැව් 11 ක් හා ඇළවල් 12 ක් කර වූ බව මහා වංශයේ සඳහන් වේ. එසේ වුවත් එතුමා කර වූ වැව් අතරින් දැනට හදුනා ගෙන ඇත්තේ වැව් කිහිපයක් පමණී.
කි.මී. 48 ක් පමණ දුරට විහි දී ඇතැයි සැලකෙන ඇළහැර ඇළ ද වසභ රජතුමා විසින් කරවන ලද්දක් බව සැලකේ. ඇළහැර ඇළ වැනි විශාල ඇළක් තැනවීම සඳහා අවශ්‍ය සුවිශේෂ ශිල්පඥානය පළමු වන ශත වර්ෂය වන විට ලක්‌වැසියන් සතු වු බව එයින් පැහැදිලි ය. වසභ රජු, උම්මග්ග ජල මාතිකා හෙවත් උමං ජල මාර්ග තැන වු බව ද සඳහන් වේ. අනුරාධපුර රන්මසු උයනේ පොකුණුවලට තිසා වැවෙන් ජලය ගෙන ගිය එබදු උමං ජල මාර්ග සොයා ගෙන තිබේ.
මහසෙන් රජු - ක්‍රි.ව. 274-301
මහසෙන් රජතුමා වැව් 16 ක් සහ විශාල ඇළක් කරවූ බව මහාවංශ කථාවල සඳහන් වේ. ඔහු කර වූ විශාලම වැව වශයෙන් ගැනෙනුයේ 'මින්නේරිය වැව' යි. මෙයින් ජනාදරයට පත් වු මහසෙන් රජතුමා 'මින්නේරි දෙවියෝ' නමින් ප්‍රචලිත විය.
කලින් වසභ රජු කර වූ ඇළහැර ඇළ තවත් විශාල කොට මින්නේරිය වැවට ජලය ලබාගත් මහසෙන් රජු මහවැලි ගඟෙන් ආරම්භ වන පබ්බතන්ත ඇළ ද කර වු බව ද ප්‍රචලිත ය.
ධාතුසේන රජු - ක්‍රි.ව. 455-473
ධාතුසේන රජු වාරි මාර්ග ඉතිහාසයේ වැදගත් වන තවත් රජ කෙනෙකි. මහසෙන් රජුගේ නාමය සමඟ මින්නේරිය වැව සඳහන් වන සේම එසේ ම ධාතුසේන රජුගේ නාමය සමඟ 'කලා වැව' ද සඳහන් වේ. මෙතුමා වැව් 18 ක් සහ ඇළ මාර්ගයක් කර වු බව මූලාශ්‍රවල සඳහන් වෙයි. කලා වැවේ සිට තිසා වැවට ජලය සැපයීම සඳහා කරන ලද යෝධ ඇළ, ද මෙතුමාගේ නිර්මාණයක් වශයෙන් හදුනා ගෙන ඇත. එය 'ජය ගඟ' නමින් ද හැදින්වේ.
1 අග්බෝ රජු - ක්‍රි.ව. 571-604
පළමුවන අග්බෝ රජතුමා විසින් වැව් වලට අමතරව 'මිණිපේ ඇළ' ද කර වු බව සඳහන් වේ. එය, මණිමේඛලා යනුවෙන් මහාවංශයේ සඳහන්වේ.
2 අග්බෝ - ක්‍රි.ව. 604-614
1 වන අග්බෝ රජු ඇවෑමෙන් රජකමට පත් වු 2 වන අග්බෝ රජු ද වාරි කර්මාන්තයට විශාල සේවයක් ඉටු කළේය. කන්තලේ හා ගිරිතලේ වැව් මොහුගේ විශිෂ්ට වාරි නිර්මාණයන් ය.
මුගලන් රජු - ක්‍රි.ව. 531-551
දෙවන මුගලන් රජු කර වූව යි සැලකෙන වැව් අතරින් හදුනාගෙන ඇත්තේ වැව් දෙකකි. මොහුගේ නිර්මාණයක් වන 'පත්පහන් වැව' අද නාච්චදූව වැව නමින් හැදින්වේ. 'පදවිය වැව' ද දෙවන මුගලන් රජු ගේ නිර්මාණයකි.
