නොමින් ලොව සියලු දේ දක්නා ඇසට
තමන් සැටි මඳක් වත් නොපෙනෙන ලෙසට
අනුන් දොස් දකිති අණුවන දන කපට
එමෙන් සිය නුගුණ නොදකිති නියම කොට
සලපය තරිඳු හිම රැස වෙය හිම ගිරිඳු
කරඔය මුහුදු දිළිදුව ඇවිදියි කිවිදු
නිසිදැය මෙබදු උවදුරු දැරුවේය රුදු
මෙතෙදිය පසිඳු අපවගමය සුපිරිසිදු
මැදහත් සුදනන්ගෙ විතරණ ගුණැති සොඳ
මඳවන් වත් ගනිති ළිඳ දිය මෙන් පැහැද
නොපතන් ගුණැති දුදනන්ගේ දැන නොමඳ
නොගනිත් යදි දනෝ කර දිය මෙන් මුහුද
දිගුන් සුදු කරන සඳ අම රසින් යුත
සසන් නොහරිනෙව් කප් හිමි තමා ගත
අනුන් සැපට සුදනෝ නෙක තැන් කරත
තමන් වැඩ පිණිස මඳකුත් නොවෙහෙසත
වනත් නොයෙක් ගං හෝ ඇළ කඳුරු පැන
මහත් ගැඹුරු සිඳු නොයනෙ'වි වෙරළ පැන
ලදත් මෙමුළු දඹදිව රජ සිරි සුදන
සිරිත් ලෙසට පවතී උඩගු නොවමින
පැනසර නොවන සත නිති සුදනන් පැහැර
කරදර දුදන සමගම වෙසෙති හැම වර
මනහර ගජ ගුඹින් මුතු දිමුතු මුතු හැර
උරසර සන උණිද බිජුවෙන් වැනි සබර
සොඳුරු ගුණ නුවණ යුතු උතුමෝ පතර
නපුරු දුදන සහ එක් වුව වෙති අසර
රුදුරු කටු පහණ නැති සමතල හසර
අඳුරු සමඟ වු කල වේය බියකර
තිරසර ගුණැති සුදනෝ පර වැඩ නැතිද
වරසුර පුරෙහි වත් නොවසති නිරය ලෙද
ගොරතර නිරෙහි වත් පරනට වැඩ ඇතිද
සුරපුර ලෙසට හැසිරෙන් සුව සේ නිබඳ
පහනින් පහන් සිය ගණනක් ඇවුලුවද
එපහන් සිළෙහි අලු අඩු නොව දිලෙන ලෙද
ලොව අන් ගුණෙන් වැජඹෙති සුදනෝ පබඳ
සුපසන් ගුණෙන් වැජඹෙති සුදනෝ පබඳ
ගජකුම් බිඳින එකසර කෙසරිඳු බලැති
කොතරම් සා වුවත් තණ කබල නුබුදිති
විහිගුම් කුලෙන් යුතු උතුමෝ අබිමනැති
දිවිහිමි කොටත් නොතරමි කමි නොම කෙරෙති