6 පිටුව
 

සමගින දුදන සත සහ වනු බඳිනු වෙර
නොයෙදෙන කරුණුමය සුදනන්හට පවර
ගිනිගෙන දිලි අගුරු ගත් කල දවයි කර
නිවි තැන රැගනහොත් කළු වේය නොවිතර

පතර දුදන අනදර සුදන අදර ද
අවර දිනිදු සේ ලෙස වැඩි වෙයි නිබඳ
අදර අනදරද පිළිවෙළිනො'වුත් හද
ළහිර සේ වැන්න අඩුවන මඳින් මඳ

තමන් හට නොසමයන් වන කලට සම
මුවින් නොබැණ ඉවසනු සුදන ගරුකම
නොමින් කුමුදු විකසිත වනු දැක දැකම
විළින් මෙන් තඹරු මුකුලිත වේය හැම

මිනිස්‌ හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත
නිදොස්‌ කෙනෙකු මෙදියත උපදනේ නැත
වෙසෙස්‌ සිනිඳු මුවරඳ බර සහස්‌ පත
කොරොස්‌ නළින් යුතු වෙයි කටු පෙළිනි යුත

සිතමින් උඩගු බව සතෙකුට නම කෙරෙති
සැපතින් ඉඳිමි සලකා නෙක දුක්‌ විඳිති
පතමින් දිවි රැකුම් රණ මැද වැද නැසෙති
එබැවින් සෙබළු වැනි දද දන වෙනින් නැති

කුලයෙන් හුණු දනෝ මහතුන් සෙවුමි කොට
ඉසුරින් යුතුව පැමිණෙත් ගරු තනතුරට
වෙසෙසින් කුසුම් ගෙතුමින් සුමුදු රඹ පට
සතොසින් සැපත් වේ නිරිඳුන් මුඳුනතට

පබඳ පසිඳු කිවිඳුද යුදෙහි සෙබළුද
පැහැද සුරති කෙළිනා වර වරඟනද
කිවද තො තා යන බස්‌ පෙරදැරි සුහද
වරද නොව අසත් නිරිඳෝ වඩමිනො'ද

සුදන ගුණෙන් යුතු උතුමන්ගෙ පියකරු
අබිමතකින් වු රොස නොකළ හැකි දුරු
සිහිල් ගුණෙන් යුතු දිය දහර පිවිතුරු
මිටි මඟෙකින් යන කල නවතති කවුරු

සුරපුර සැප සපයන පින් නොම කරති
අරතර අපා බිය දෙන පවම කර ලති
පැනසර නොවු ලොව නරයන්ගේ සිරිති
කිරිහැර මර එළවන ගොර විසම බොති

ලොවින් එකෙක්‌ එක දෙයකට වෙයි සමත
වෙනින් අනික්‌ දෙයකට අනිකෙක්‌ සමත
නොමින් සුළඟ ලදුවත් තද ගිම් සැපත
ගොඩින් නැව දියෙන් රතයද නොයනු ඇත

(c) Shilpa Sayura Foundation 2006-2017