සතතින් පවන් අඹ කොළ බුදින තවසර
දැහැනින් මිදේ දුට ලෙළ දෙන ලියතඹර
බුදිමින් යමෙකු කිරි තෙල් දී රස අහර
ඉඳුරන් දමත සිඳු ඉපිලේ මඳර ගිර
කුස ඔත සිය සොහොවුරු වුවද තමහට
හිත නැත යෙහෙ දුරු කළ පොකුරඹ ලෙසට
තම ගත වා පිත් සෙමි කිපෙනුය මරට
වන ගත ඔසු වන හිත වෙයි සුව පතට
පර සතු දෙයක් උඳුරන ලෙසට කර ලොල
වෙර දුදනන් පැවසු නෙක බොරු තෙපුල
තිර සර මහතුන්ගෙ සිත නොරඳයි නිමල
සුර තුර විමන වෙද රිටුනට කවර කල
සත් ගුණ යුත් සතන්හට වැඩ කළොත් සරු
අත් පිට දියුණුවම පල දේය නිරතුරු
වත් කළ දිය නෙරළු තුරු මුලට පියකරු
දෙත් මුදුනෙන් පල රැස රැගෙන අමයුරු
නැණැති දනන්හට මඳ ගුණයක් කළද
පවති ගල කෙටු අකුරක් මෙන් නිබඳ
විමති දනන්හට කළ කිසි ගුණ නොමඳ
එනැති වේය දිය පිට ඇඳි ඉරක් ලෙද
අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
අනන වෙහෙස ලදුවත් නොම වෙති දුහද
දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ
සිඳිත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳ
බුදුන් දහම් සඟනට නොකෙළෙද අදර
නිවන් දකින පිනකුත් නොකෙළෙද පවර
ලියන් තන නොසිපියෙද සිහිනෙන් විතර
උපන් මව යොවුන් වනයට පොරෝයුර
නොමදත් සතෙකු ගැඹරින් යුත් සද සතර
පදරුත් වියකමි'යි සලකනු සබය තුර
මදමත් තුඟු මහත් වන ගිජිඳෙකු ළතර
සියපත් නළ හුයින් බඳිනෙව් කරන වැර
කොතෙක් ගුණ කලත් දුදනන් හට අසුබ
අකක් පමණ වත් නොම කෙරෙති පිළිලබ
එඋක් රසෙහි සැදුවත් නිඹ බිජු කිරඹ
උදක් තිත්තමය පසඟම තුරෙහි නිඹ
සඳුන් කපුරු සමඟින් පිනි දිය නොමඳ
සොඳින් කලල් කරමින් සුවඳ මුව මද
නිතින් ගිම'ඹ ඉස ඉස ලහුනු වැව් වද
තමන් ගුණය නොහරින වැනි දුදන හද