රත්තරන්
 

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර

1 ජවනිකාව


(ගල් ගුහාව ඇතුළ. එය මනුෂ්‍ය වාසය සඳහා පාවිච්චි කරන ලද්දක්‌ බවට යම් යම් ලකුණු තිබේ. දෙපසෙහි ගල් බිත්තියෙහි ම සෑදුණු නොයෙක්‌ අහුමුලු ඇත. එත් පසෙක, මේසයක්‌ සඳහා පාවිච්චි කරන ලද පළල් ලී කොටයකි. ඒ මත පළහා කා ඉතිරි වූ වල් ඌරකුගෙන් කොටසක්‌ ද ලොකු පිහියක්‌ ද තිබේ. බිම එක්‌ තැනක නිවී ගිය අඟුරු ගොඩකි. ගල් ගුහාවේ එක්‌ අහුමුල්ලක හේත්තු කර තිබෙන පැදුරු මිටියක පහළ කොටස ඇසට ගොදුරු වේ. ගුහාවේ ඉදිරි පසෙහි සෑහෙන තරම් ආලෝකයක්‌ තිබේ, ඔබ්බට, ගල් බිත්ති ක්‍රමයෙන් පටු වීම හේතු කොට ගෙන, අඳුර වැඩි වේ. තිරය ඉවත් ව මඳ ඇසිල්ලකින්, වැරහැලි වූ ඇඳුම් උඩින් වල්කොළ හැඳ ගත්, කෙස්‌ වනා ගත්, මහලු ස්‌ත්‍රියක්‌, ඉතා වෙහෙසට පත් වූ විලාසයෙන් හදිසියෙන් මෙන් වම් පසින් ඇතුළු වෙයි. ඇයගේ පෙනුම, මුලදී භය ද පසු ව අනුකම්පාව ද උපදවයි. ඇයගේ මලානික දෑස ද වැහැරී ගිය ශරීරය ද අවුල් වූ කේශ කලාපය ද මඩ තැවරුණු දෙපා ද ඇය කෙරෙහි අමනුෂ්‍ය පෙනුමක්‌ ආරෝපණය කරයි. ඈ මඳ වේගයෙන් අවුත්, නැවතී එක්‌ තැනක සිටගෙන හති දමා, පසුව ගලක්‌ මත වාඩි වී මඳ වෙලාවක්‌ හිස නමාගත් වන ම සිටී. ඉක්‌බිති ඈ හිස ඔසවා වටපිට බලයි.)


මහලු ස්‌ත්‍රිය : යන්තම් නොතෙමී ඉන්න පුළුවන් ගෙයක්‌ හම්බ වුණා. මෙච්චර කල් ගස්‌ යට ඉඳලා, අවුවට වේලිලා, වැස්‌සට තෙමිලා, මම නොමැරුණු එකයි පුදුමේ. දැනට තුන් හාර මාසයක්‌ වත් ගත වෙන්න ඇති මං මේ වනාන්නතරේ වාසය කරන්න වෙලා. මට නම් දැනෙන්නේ අවුරුද්දක්‌ විතර මෙහේ හිටියා වගෙයි. කොහොම ද දන්නේ. කොච්චර කාලයක්‌ ගත වූණා ද කියලා? (තම හිස අත ලා) මගේ ඔළුවත් තෙමිලා.


මහ වැස්‌සෙන් යන්තම් ගැලවුණා, මේ ගල් ගුහාව හම්බ වුණ නිසා. (නැවත වට පිට බලා) මේක කවුරු හරි වාසය කරලා තිබෙන පාටයි. (සුවඳ ආඝ්‍රාණය කොට) මස්‌ සුවඳක්‌ එනවා. මට මිනිහෙක්‌ කන්න තරම් බඩගිනි යි. (නැගිට බලා, ඌරු මස්‌ තිබෙන ලී කොටය දැක) හොර නෑ. ................. මේක නම් කාගෙ හරි වාසස්‌ථානයක්‌ වෙන්න ඕනෑ. (කොටය දෙසට ගොස්‌) මේ තියෙන්නෙ පුළුස්‌සපු ඌරෙකුගේ මස්‌ නේ. (වහා රැගෙන කාගෙන කාගෙන යමින්) අම්මේ ................ රහ .................. මේ තරම් රහ කෑමක්‌ හම්බ වූණේ නෑ හරි කලකට. මේකෙ බතකුත් ඇද්ද දන්නේ නෑ. බත් ටිකක්‌ ලැබුණේ නෑ ගෙදරින් පිටවුණු දා හිටන්. අරුන්දෑ කනවා ඇති මගේ පංගුවත් එක්‌ක දැන්. බඩ පැලෙනකන්. ඒකට නේ මාව මරන්න හැදුවේ. (කා හමාර කොට) බලන්න ඕන තව මොනවද මේකෙ තියෙන්නෙ කියලා. කන්න බොන්න එහෙම. (ඔබමොබ ඇවිද ගල් ගුහාව පරික්‌ෂා කරන්ට පටන් ගනී) මේ තියෙන්නේ පැදුරු මිටියක්‌ නේ. මනුස්‌සයෙක්‌ ඉන්න තැනක්‌ හම්බ වෙච්ච එක කොයි තරම් වාසනාවක්‌ ද?. (මඳක්‌ සිනා සී) එහෙම තමයි කියන්නේ. නමුත් එක අතකින් බැලුවම කැලෑවේ ඉන්න වන සත්තු මනුස්‌සයන්ට වඩා හොඳයි. මෙච්චර කල් මගේ ශරීරෙට දුක්‌ ලැබුණට මොකොද, මගේ හිතට නම් ලොකු සැනසිල්ලක්‌ තිබුණා.

(ගුහාවෙන් තවත් ඔබ්බට ගොස්‌ මඳ ඇසිල්ලකින් නො පෙනී සිට, පොදියක්‌ රැගෙන අවුත්) මොනව ද මේ පොදියේ ? (සොලවා බලා) හරි බරයි. බලන්න ඕන. (බිම තබා විවෘත කොට) දෙවියෝ සාක්‌කි! රත්තරන් නේ......... (අත දමා රත්තරන් මිටක්‌ එළියට ගෙන) රත්තරන්........... ඔක්‌කොම රත්තරන් නේද? හැබෑ රත්තරන් ...........තව මලු කීපයක්‌ තියෙනවා ඇතුළේ.............. ඒවායෙත් රත්තරන් ද දන්නෙ නෑ........... (ඇතුළට ගොස්‌ පොදි දෙකක්‌ දෑතින් ගෙනැවිත් විවෘත කරයි) ඒකෙත් රත්තරන්................. මේකෙත් රත්තරන්.............. ඇයි බොලේ .............. කොයින් ද මේ හැටි රත්තරන් ? ඇතුළේ මේ වගේ මලු පිරිලා. තව ලොකු මලුත් තියෙනවා. ...................... ඒවාගෙන් රත්තරන් වෙන්න ඕන. වෙන මොනවා ද? මගෙත්ලොකු පිනක්‌ තිබිලා තියෙනවා. මේ තරම් රත්තරන් හම්බ වෙන්න එක පාරට ම.


ඇයි මං අපරාදේ මෙච්චර කාලයක්‌ විඳපු දුකට දෙවියො බලන්නෙ නැතැයි? (මඳක්‌ කල්පනා කරයි. එවිට ඇගේ මුහුණ ක්‍රමයෙන් ඇඳිරි වන බව පෙනේ.) එකත් එකට, මේ හැටි රත්තරන් තියෙන්න, මේක හොරුන්ගෙ ගුහාවක්‌ ද දන්නෙත් නෑ. එහෙම නම් මම ඉක්‌මනින් මෙතනින් යන්න ඕන. මේ රත්තරන් පොදියක්‌ දෙකක්‌ වත් අරගෙන ගියොත් හොඳයි කියල හිතෙනවා. නෑ...............


මේවා අරගෙන වනාන්තරේට ගිහිල්ලා මොනවා කරන්න ද ? (පිටින් රළු හඬකින් ගී ගයමින් එන පිරිමින් සතර දෙනෙකකුගේ කටහඬවල් ඇසේ. ස්‌ත්‍රිය තිගැස්‌සෙයි) මං හිතපු එක හරි. ඔය එන්නෙ මේකෙ ඉන්න හොරු වෙන්න ඕන මං දැන් මොනවා ද කරන්නෙ ? මං අහුවුණ උගුලක හැටි. මං වගේ පව්කාරියක්‌. ගස්‌ යට මැරිලා ගියා නම් මීට හොඳයි. පල් හොරුන්ගෙ අතින් මැරුම් කන්නෙ නැතිව. එළියට යන්නත් බැහැ දැන්. මං වගේ කාලකණ්‌ණි ගෑනියෙක්‌. (ගී ගයන හඬ ළං වේ) හැංගෙන්න තැනක්‌ වත් නෑ. මෙතර. අර මලු තියෙන මුල්ලට ගියොත් නම් හැංගෙන්න පුළුවන්. නමුත් මුන් එතනට ආවොත් ආයෙ බේරෙන්න හම්බවෙන්නෙ නෑ (දනින් වැටී) දෙවියන්ගෙ පිහිටයි මට.

මං කිසි වරදක්‌ කරලා නෑ, (අඬමින්) ඇයි මට මෙහෙම දෙයක්‌ වෙන්න යන්නේ? (හදිසියෙන් ලී කොටයට වත් මුවා වෙලා ඉන්න ඕන. එතකොට මුන් ඇතුළට ගියා ම මට පැනලා යන්න පුළුවන් වේවි. (ලී කොටය දෙසට මඳක්‌ ගොස්‌ නැවත හැරී, රත්තරන් පොදිය දැක) අපොයි. මේ පොදි ටික ආපහු තියන්න එපාය. තව ඩිංගකින් මතක නැති වෙනවා. (ඉක්‌මනින් පොදි සඟවා, ලී කොටයට මුවා වෙයි.


සොරු සතර දෙනෙක්‌ පැමිණෙති. ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ අත්වල රන් මලු දෙක බැගින් තිබේ. ඔවුහු ගායනා කරමින් අවුත් මලු බිම තබා, ගල්පොතු මත වාඩි වී මඳ වේලාවක්‌ තම ගී ගයම්න් සිටිති. නායකයා එක්‌ පේළියක්‌ ගායනා කළ විට, සෙසු අය අනික්‌ පේළිය ගයති.)


කොහේන් ගෙනා රත්තරන් -
ඉර මඬලේ රත්තරන්
කොතන තිබේ රත්තරන්
සඳ මඬලේ රත්තරන්
කාගෙද මේ රත්තරන්
දෙයියන්ගේ රත්තරන්
කව්ද දුන්නෙ රත්තරන්
දෙයියො දුන්නෙ රත්තරන්
කුමටද මේ රත්තරන්
රැකෙන්නටයි රත්තරන්
තකට තකට දොන් තරිකිට ජෙමිකිට තක තාම් තාම් (සියලු දෙනා ම)


රත්තරනේන් රන් - මාල තනන්නේ
රත්තරනෙන් රන්- කිරළු දමන්නේ
රත්තරනෙන් රන් - ගෙවල් තනන්නේ
රත්තරනෙන් රන් - මුදු පළඳින්නේ


පිරිය වඩන රත්තරන් - වෙල් යායේ රත්තරන්
ආල වඩන රත්තරන් - නෙළුම් මලේ රත්තරන්
දෙයියො දුන්නරත්තරන් - ගිරා හොටේ රත්තරන්
ලෝබ වඩන රත්තරන්- පහන් තරුවෙරත්තරන්
කුමට ද මේ රත්තරන්- රැකෙන්නටයි රත්තරන්


තකට තකට දොන් තරිකිට ජෙමිකිට ත්‍රක තාම් තාම්


1 සොරා : (සිනාසෙමින්) හං! හං! හං! අද නම් අපට ගජ වාසියි. රන් මලු හතරක්‌ ම හම්බ උණා.


2 සොරා: ඒ වුණත්, අද විතර අමාරු වුණේ නෑ අපට කවදාවත්. අවි ආයුද අරගෙන හොඳට ලෑස්‌ති වෙලයි උන් දැන් යන්නෙ එන්නෙ.


1 සොරා : අහළ පහළ ගම්මානවලට ආරංචි ඇති දැන් අපේ කොල්ලකෑම ගැන.


2 සොරා: මගේ හිතේ දැන් ඉතින් වෙන තැනකට ගිහිල්ලා මංකොල්ල කෑවොත් වඩා හොඳයි කියලා. මෙතන වැඩි කාලයක්‌ හිටියොත් අපට වැඩේ වරදිනවා. මොකෝ පච්චමිරා කියන්නෙ?


4 සොරා: හ්ම් ....................


1 සොරා : මොකෝ පච්චමිරා ඔලුව පහත් කරපු ගමන් ඉන්නෙ. කාතාවක්‌ බහක්‌ නැතකුව? මොනව ද කල්පනා කරන්නෙ?


4 සොරා: අද අපි බේරිච් බේරිල්ල ගැනයි මං මේ කල්පනා කරන්නෙ. මැරුම් කන්නෙ නැතිව ආවා ඇති.


1 සොරා: ඒ වුණත් අපි හිස්‌ අතින් නොවේ නේ අවේ? රන් මලු හතරක්‌ ම ගෙනාවා නේ. අමාරුවෙන් ලැබුණ දේ තමයි වැඩිම අගේ.


3 සොරා: අපිත් මීට වඩා හොඳට ලෑස්‌ති වෙලා යන්න ඕන මින් පස්‌සෙ. දැන් ඒ දවස්‌වල විතර ලේසි නෑ.


4 සොරා: දවසක්‌ දහ දොළොස්‌ දෙනෙක්‌ එක්‌ක අපිව වට කළොත් තමයි වැඩේ වෙන්නෙ.


1 සොරා: බයවෙන්න එපා පච්චමිරා අපේ අත්වල මේ යන්තර තියෙන තල් අපට මුකුත් වෙන්නේ නෑ.


4 සොරා: යන්තරෙත් එකයි, මන්තරෙත් එකයි. වරදින දාට වරදිනවා, කෝක තිබුණත් දැක්‌කා නේ නාච්චිරේට වෙච්ච දේ.


1 සොරා: ඉතිං මොකද කරන්නෙ? මැරෙන දාට මැරෙනවා. ඕක ගැන හිත හිත ඉන්න ඕනයැ?


4 සොරා: උඹලා මොකට ද මේ සෙල්ලම කරන්නෙ එහෙනම්? මේකෙ ම ඉඳන් මැරෙන්න ද උඹගෙ කල්පනාව?


2 සොරා: ඒක ම තමයි මමත් කියන්නෙ. දැන් වෙන තැනකට ගිහිල්ලා කොල්ලකමු කියලා.


4 සොරා: දැන් ඉස්‌සර වගේ තැන් තැන්වල යන්නත් ලේසි නෑ නේ. කොහේ ද මේ රත්තරන් තියන්නෙ?


2 සොරා: ඒවා වෙන ගල් ගුහාවක ගිහිල්ලා තියනවා නේ. ඕකත් අමාරු වැඩක්‌ ද?


3 සොරා: නැත්තනම් මෙතන ම තියෙන්න අරිනවා. කවුද මෙතනට එන්නෙ ඕවා ගෙනියන්න. මේ හද්ද වනාන්තාරේ?


4 සොරා: අපි මේ විදියට කරගෙන ගියොත් වෙන්නෙ මේකයි : එක්‌කො අපි මංකොල්ලෙක දී මැරෙනවා. නැත්නම් අපි මේ හත් අවුරුද්දක්‌ තිස්‌සෙ එකතු කරපු වස්‌තුව නැති වෙලා යනවා.


1 සොරා: ඉතින් මොකද බන් කරන්න ය කියන්නේ? කරන්න පුළුවන් දෙයක්‌ කියපන් කෝ.


4 සොරා: මං කියන්නේ, අපි මේ මංකොල්ලෙ නවත්තලා ආපහු ගමට යමු.


2 සොරා: මංකොල්ලෙ නවත්තන්න?


3 සොරා : ගමට යන්න?


1 සොරා: ගමට ගිහිල්ලා මොනවා කරන්න් ද?


4 සොරා : මම ගමට ගිහිල්ලා ආයෙමත් පටන් ගන්නවා යකැදුරුකම් කරන්න.


1 සොරා: හං! හං! හං! යකැදුරුකමෙන් උමට හම්බ වේවි හුඟක්‌.


4 සොරා: මට ඇති ඔය හම්බ කළා.


1 සොරා: යකැදුරුකමට ඔය හැටි ආසා නම් ඇයි උඹ මෙහේ ආවේ.


2 සොරා : පච්චමිරාට විකාර


3 සොරා: පච්චමිරාට පිස්‌සු!
(සියලු දෙනා ම සිනාසෙති)


1 සොරා: මම නම් සෙන්කඩගල නුවරට ගිහිල්ලා, ලොකු මාලිගාවක්‌ හදලා, සිටු කුමාරයෙක්‌ වගේ ඉන්නවා.


3 සොරා: මම සිටු කුමාරිකාවක්‌ කරකාර බැඳ ගන්නවා.


2 සොරා: මම ඇතෙක්‌ බරට වස්‌තුව එකතු කරලා රජ වෙනවා.
(සියලු දෙනා ම ගයමින් නටති)


රත්තරනෙන් රන් - මාල තනන්නේ
රත්තරනෙන් රන්-කිරුළු සදන්නේ
රත්තරනෙන් රන්-ගෙවල් සදන්නේ
රත්තරනෙන් රන්-මුදු පළඳින්නේ


4 සොරා: හොඳයි, හොඳයි, ඔය මදෑ, උඹලා තව තව එකතු කරගෙන ගිහිල්ලා සිටු කුමාරයො වෙයල්ලා. මම යන්නම් මගේ කොටසත් අරගෙන ගමට. දැන් ඉතිං කන්න මුකුත් ගනිල්ලා. ඔය මදෑ නැටුවා.


1 සොරා: ඔව්, බන්, දැන් මටත් බඩගිනියි.


2 සොරා: ඊයේ රෑ පුළුස්‌සපු ඌරගෙ බාගයක්‌ විතර ඉතුරු වුණා නේ ද?. කෝ ඒක ?


3 සොරා : ඇයි, ලී කොටේ උඩ තියලා නේ ද ගියේ? කෝ? දැන් නෑ.


2 සොරා: (ලී කොටය දෙසට ගොස්‌) බිම වැටිලා වත් ද? (මහලු ස්‌ත්‍රිය දැක මොර ගාමින්, බොහෝ සේ තැතිගත් පෙනුමකින් යුක්‌ත ව සෙස්‌සන් දෙසට දුව යයි)


1 සොරා: ඇයි බන් කෑගහන්නේ? අවතාරයක්‌ දැකලා වත් ද? හං! හං! හං! මොකද මේ මුන්දැලාට වෙලා තියෙන්නෙ?


3 සොරා: මොකෝ මේ හැටි ගැහෙන්නෙ?


2 සොරා: (වෙව්ලමින්) යක්‌.............. ෂ..........ණි.............යෙක්‌.


1 සොරා: හා! හං! හං! මේ මිනිහට නම් හොල්මනක්‌ පෙනිලා තමයි. මුන්දැට තෙල් ටිකක්‌ මතුරපන්. පච්චමිරා. උඹ යකැදුරුකම් කරන්න ආසාවෙන් නේ හිටියෙ?


3 සොරා: විහිළු කරන්න එපා බන්. බලපන් මුද්දෑ ගැහෙන හැටි. හොඳට ම බය  බයවෙලා මොකක්‌ හරි දකින්න ඇති. කියපන් මොකක්‌ද? මොකක්‌ද?


2 සොරා: යක්‌ෂණියෙක්‌ නේ බන්. යක්‌ෂණියෙක්‌! මේ ඇස්‌ දෙක පල්ලා මං දැක්‌කා. කොණ්‌ඩෙත් වනාගෙන ඉන්නවා. අර ලී කොටේට මුවා වෙලා.


1 සොරා: යක්‌ෂණියො කොහෙද මේ ගල් ගුහාව ඇතුළේ ? (3 සොරාට) උඹ ගිහිල්ලා බලපන් මේ කියන්නෙ ඇත්තක්‌ ද කියලා.


3 සොරා: ගිහිල්ලා බලපන්. පච්චමිරා. උඹ නේ කට්‌ටඩියා. බොරු කියන්නෙ මොකට , මම නම් යක්‌කුන්ට බයයි.


4 සොරා: යක්‌කු එන එකත් පුදුමයක්‌ නොවේ. උඹලා පුලුටු මස්‌ තියලා ගියා ම. කෝ බලන්න කවුද කියලා මේ යක්‌ෂණී (නැගිට ලී කොටය දෙසට ගොස්‌ බලා, ස්‌ත්‍රිය දැක, මඳක්‌ පැකිලී ආපසු එයි) ඔව්, බන් කවුද ඉන්නවා. යක්‌ෂණියක්‌ වගේ තමයි. ඒ වුණත් උඹලා බය වෙන්න එපා යක්‌ෂණියෙක්‌ නම් මම ඒකට වැඩේ කරන්නම් කො. ඔන්න එනවා එළියට. බය වෙන්න එපා. (මේ අතර මහලු ස්‌ත්‍රිය, බයෙන් බයෙන් නික්‌ම එයි. සතර දෙනා ම එක පසෙකට යති).


ස්‌ත්‍රිය: මං මේ කාගෙ වත් තැනක්‌ බව දැනගෙන නොවේ ආවේ. මාස ගණනක්‌ මුළුල්ලේ මං වනාන්තරේ ඇවිදිනවා. යන්න තැනක්‌ නැතුව, මට සිද්ධ වෙච්ච දේ උඹලා දන්නවා නම්.............


4 සොරා: යක්‌ෂණියෙක්‌ වෙන්න බෑ. මේ මනුස්‌සයෙක්‌.


2 සොරා: මේවා කියන්න බෑ. යක්‌කු එනවා නේ ඔහොම මනුස්‌ස වේසයෙන්.


1 සොරා: ඇයි. මෝහිණි යක්‌ෂණිය එන්නෙ. ගෑණියෙකුගෙ වේසයෙන්?


3 සොරා: මෝහිණි යක්‌ෂණිය එන්නෙ දරුවෙකුත් වඩාගෙන නේ.


4 සොරා: උළමා එනවා මට උගන්නන්න. හොඳයි. යක්‌ෂණියෙක්‌ නම් මම මන්තරයක්‌ කියන්නම්, උන්දෑ පළාතෙ ඉන්නෙ නෑ. ඕන ම


යකෙකුට යක්‌ෂණියෙකුට මේ මන්තරේ හරි. (පොළොවෙන් වැලි ටිකක්‌ ගෙන, අල්ලෙහි තබාගෙන මතුරයි.) ඕජ කිට්‌ටු විෂ්ණු කට්‌ටු යම


කට්‌ටු පිල්ලී කට්‌ටු අංගුලිමාල කට්‌ටු පූට්‌ටු ඒස්‌වාහං කී එන්කිඩ ඔඩ්ඩි දේසෙ රංජාසෝලි හනුමන්තා ආනුභාවයෙන් දිෂ්ටි හැර පලයන්


තෝස්‌වාහ :- ඕං නමෝ මේ සක්‌වල යකුන් යක්‌ෂණියන් එක්‌ කටකට ලේ විලයි කියා අඬ ගැසූ දළ කුමාර දේවාතාවන්ගේ ආනුභාවයෙන් අදත් මට සහ මේ ආතුරයින්ට දළ කුමාර ආරක්‌ෂාවයි බන්ධ බන්ධ එස්‌වහා: (මෙසේ මිතුරාථ වැලි පිඹ දමයි)

3 සොරා: කෝ ගියා ය? ඔය ඉන්නෙ තාම.


4 සොරා: ඒක තමයි මං කියන්නෙ, යක්‌ෂණියෙක්‌ නෙවේ ය කියලා.


1 සොරා: උඹේ මන්තරේ ආනුභාවේ තමයි ඔය. මොකෝ යක්‌ෂණීයක්‌ නොවේ ය. කියන්නෙ? බලපන් අර ඇස්‌ දෙකේ හැටි.


ස්‌ත්‍රිය: (තමාට ම) මුන්දලා මොකද දන්නෙ නෑ කතාවක්‌ බහක්‌ නැතිව ඉඳගෙන කරන්නෙ. මට හරියට පේන්නෙත් නෑ මං හොරකමේ


ආපු ගෑනීයෙක්‌ ය කියලා හිතාගෙන, මාව මරන්න හදනවා ද දන්නේත් නැහැ. උන්දැලාගෙ වස්‌තුව තියෙන හින්දා, නිතර ම හිතට සැක ඇති. (සොරුන්ට ඇසෙන සේ) අනේ මට සමා වෙයල්ලා මං උඹලගෙ ගුහාවට ආවාට. මං මෙතනට පැමුණුණේ අහම්බෙන්. කවුරුවත් ඉන්න බව වත් දන්නෙ නෑ උඹලා එන කල්. මට සමාවෙයල්ලා. මං අහිංසක ගෑනියෙක්‌.


4 සොරා: (ස්‌ත්‍රියට) උඹ අසරණ ගෑනියෙක්‌ නම්, ඇයි මෙහෙම වනාන්තරේ ඇවිදින්නෙ. ගේක ඉන්නෙ නැතකුව?


ස්‌ත්‍රිය: දෙයියො බුදු වන්ඩ, මම ගේක තමයි හිටියෙ පුතේ. මගේ ලේලි මාව පුළුස්‌සලා මරන්න හැදුවා. මම නිදාගෙන ඉන්දැද්දී මාව ඇද පිටින් උස්‌සාගෙන ගියා අමු සොහොනකට. මගේ මොක්‌දෝ වාසනාවකට පුතාට මතක නැති වුණා ගින්දර ගේන්න. උන්දැලා ආපහු ගිය වෙලාවෙ, මම අවදි වෙලා, අමු සොහොනෙන් ආපහු මිනියක්‌ අරගෙන ඇ උඩ බාවලා, හැංගිලා බාලාගෙන හිටියා. උන්දැලා ඇවිල්ලා ගිහි තිබ්බා ඇඳට. එදා පටන් මට යන්න තැනක්‌ නැතිව මේ වනාන්තරේ ඇවිදිනවා.


2 සොරා: උන්දෑ මනුස්‌සයෙක්‌ ය කියලා අපිව රවටලා, අපිව ගිලින්න හදනව ද දන්නෙ නෑ.


1 සොරා: ඔව්. ඔව්. ඒක තමයි උන්දැගේ ප්‍රයෝගෙ.


4 සොරා :පිස්‌සු දොඩවන්න එපා බන්. උන්දෑ යක්‌ෂණියෙක්‌ නෙවේ. මනුස්‌සයෙක්‌. අපේ රත්තරන් හොරකම් කරන්නයි ඇවිත් තියෙන්නෙ. බය නැතිව වරෙල්ලා උන්දෑ ව අල්ලන්න.


3 සොරා: අනේ අනේ, උඹ කියන ඒවා කරන්න ගියොත් අපට වරදිනවා.


2 සොරා: අපොයි උඹලා වගේ බය ගුල්ලො! උඹලා කොහොම කෙරුව ද දන්නෙ නෑ මංකොල්ලෙ, මෙච්චර කාලයක්‌. හොඳයි, උඹලට තාම සැක නම්, තවත් වැඩක්‌ තියෙනවා කරන්න. යක්‌කුන්ට දිවක්‌ නැති බව උඹලා දන්නවා. නේ ? උන්දැට කියමු දිව පෙන්නන්න කියලා. එතකොට දැනගත හැකි සැක නැතුව ම.


2 සොරා  : යක්‌ෂණියෙක්‌ නම් දිවක්‌ නැති වුණාට, දිවක්‌ මවලා පෙන්නන්න පුළුවනි නේ. එතකොට අපි හොඳට ම අහු වෙනවා.
 
3 සොරා: මං කියන්න ද ඕකට වැඩක්‌? දිවට දිව ගාලා බලනවා. එතකොට බෑ නේ බොරු කරන්න?


4 සොරා: ඒක නම් හොඳ තමයි. නමුත් කවුද දිව ගාලා බලන්නෙ? උඹලගෙන් එක්‌කෙනෙක්‌ යනවා ද?


2 සොරා: අපෝ, උන්දෑ අපිව කාලා දමාවි.


4 සොරා: එහෙමනම් මහ ලොකුවට කියන්නෙ?


3 සොරා: උඹ නේ ඈ යක්‌ෂණියක නොවේය කිව්වෙ. උඹ තමයි දිව ගාලා අපට පෙන්නන්න ඕන.


1 සොරා: යක්‌ෂණියෙක්‌ නම් උඹේ මන්තරේ ආනුභාවයෙන් මෙලහකට ගිහිල්ලා නේ?. ඉතින්, මනුස්‌සයෙකුගෙ දිවට දිව ගාන්න ඇයි ඔය හැටි බය?


4 සොරා: හොඳයි. උඹලා කියනාව නම්, මම එකත් කරලා පෙන්නන්නම් කො. කෝකටත් ආරක්‌සාවට මම නූලක්‌ බැඳගෙන යන්න ඕන. උඹලා හරි කැමති ඇති මං මැරිලා ගියොත්. ඒකයි මාව ඉස්‌සරහට දානේනෙ හැම එකට ම. (තම ඔඩොක්‌කුවෙන් නූලක්‌ ගෙන මතුරයි)


1 සොරා: උඹ කට්‌ටඩියා හන්දා නේ උඹව ඉස්???