සාකේත නම් නුවර අසුකෙළක් ධන ඇති සිටාණන්ගේ සිටුදේවීන්ට ශීර්ෂාබාධයක් ඇති ව සත් අවුරුද්දක් මුළුල්ලෙහි මහත් වූ ව්‍යාසන වී ය. දඹදිව බොහෝ වෛද්‍යචාරිවරයෝ අපි සන්සිඳුවම්හ. අපි සන්සිඳුවහ්ය යි වාසි කිය කියා අවුත් නො එක් පිළියම් කොට සම්පත් ගෙන යන්නාහු ය.
ශීර්ෂාබාධය ඇසිල්ලෙකින් සන්සිඳුවාලිය නුහුණුවාහුය ය. ජීවකයෝ එ පවත් අසා ඒ සිටාණන්ගේ සත්වන වාසලට ගොස් සිට වෛද්‍යයෙහි බලවත් ආචාරි කෙනෙක් වාසල සිටියෝය යි කියා යැවූහ. සිටුදේවි එපවත් අසා ජීවකයන්ගේ වයස් විචාරා බාල දරුකෙනෙකැයි අසා සිනාසී දඹදිව ප්‍රසිද්ධ ආචාරවරිහු අවුත් මා ඇසිල්ලකුත් නිදවාපිය නුහුණුවහ. කිරි බොන තරම් බාල දරුකෙනෙක් කුමක් කෙරෙද්දැයි කියා කියා තමන් බඩසා වුවහොත් බත් ලවාගෙන කන්ට කියව. අනික් කිසි අපාසුවෙක් ඇත්නම් ඉල්වා
ගෙන යන්ට කියව, නන් නො දොඩා ආපස්‌සෙහි යන්ට කිවය යි කියා යවූහ.
ජීවකයෝ එ පවත් අසා ශාස්‌ත්‍ර නම් බාල ය වැඩිමහලු යැයි යන බැවහාර නැති යේ ය. නුවණ නම් වයස් නිසා ඇති වන දෙයෙක් නො වෙයි, මා දත් ශාස්‌ත්‍රය මුත් මාගේ වයසින් තමන් වහන්සේට ප්‍රයෝජන කීම්ද? තෙල රුජාව සන්සිඳුවාලා මුත් නො යෙමි. වැළිදු ධන හානියකුත් නො කරමි. මාගේ ශාස්‌ත්‍රබල දක්‌වා මුත් කිසිවක් නො ගන්මි යි. කියා යවූහ. සිටුදේව ජීවකයන්ගේ නිර්භිත වූ සාරභාර තෙපුල් අසා ඉතා සතුටු ව පෙර ගමන් කොට ගොස් ජීවකයන් කැඳවා සාමීචි කථාකොට බත් බුලත් දී සතපා හිඳිනා අසුන් ඳී "පුතණුවනි!'' සත් හවුරුද්දක් මුළුල්ලෙහි නින්දක් නො ලද්දුවු මා එක දවසක් නිඳවාපිය නොහෙණුයේ දැයි විචාළහ.
ජීවකයෝ ඇසිල්ලෙකින් සන්සිඳුවාලමි යි පතක් පමණ ගිතෙල් වුව මැනැවැයි කියා ගෙන්වාගෙන තමන් අතින් නොඑත් ඖෂධ ලා තෙල් සිඳ නිවා නශ්‍ය කළහ. තෙල ඉසට උරාගැන්ම හා සමඟ තෙලින් භාගයෙන් ඉසට නැංග, භාගයෙක් මුඛයට බට. මුඛයට බට තෙල් බිමට දමා කෙල්ලනි, තෙල තෙල් පුළුවෙන් ඉඳ රැක තබව යි කියා තෙල් හිඳුවා තැබ්බූහ. එ වේලෙහි ජීවකයෝ බිම හුණු තෙලිත්ත හිඳිනා දැක මා කෙළේ කිම් ද, තෙල් බින්දුවට පවා මේ සා වූ ලෝභයක් කරන්නාහු මට දිය යුතු කුලී කෙසේ නම් දීපීයද් දැයි, සිතා කලකිරී සිටියහ.
සිටුදේවි ජීවකවන්ගේ අදහස් දැන, පුත කුමක් සිතා සිටිනේ දැ යි විචාළහ.
ජීවකයෝ 'දේවීන් වහන්ස' නුඹගේ සම්පත් ලෝභය සිත සිතා සිටියෙමි. මා අතින් බොහෝ ඖෂධ නසා මේ තෙල කකාළෙමි. බිම වැගිර ගිය තෙලින්තට නුඹ වහන්සේ මෙසේ ලෝභ කල, කෙසේ නම් මට මිල දෙනුයේ ද, මා අත තුබූ බෙහෙත් බඩුයෙනුත් නො වෙම් දෝ හෝ යි සිතමි යි කීහ. එ බසට සිටු දියණියෝ කියන්නාහු පුතණ්‌ඩ! එසේ නො කියව, අපි උපයන අවස්‌ථාවෙහි මෙසේ සියුම් ව උපයන සේත් දනුම්හ, විදයම් කරන අවස්‌ථාවෙහි උදාර කොට දෙන සේත්, දුනුම්භ, අනාථයේ වල දමන සේ නො දනුම්හ, බිම හි ගිය තෙලිත්තෙන් කිසිවක් හට ප්‍රයෝජන නැත.
පුළුනින් ගත් තෙලිත්ත පහනක් හෝ අවුළුවාලිය හැක්‌ක, නැතහොත් කන හෝ තබාගත හැක්‌ක, දුක්‌පත් කෙනෙකුන් අතපය හෝ ගාපිය හැක්‌ක, ඊට නුඹ නො සිතා නුඹ කළ මනා පිළියම් කරන්නැයි කීහ, සිටුදේවීන් තෙල ඉසට නැඟීම හා සමඟ ඉස රුජා අන්තර්ධාන වි ය. මෙතෙක් කථාකරන්නාහු ද රුජාව සන්හුන් බව දැන සතුටු ව ම කථා කළහ.
ඉක්‌බිත්තෙන් සිටුදේවි සිටාණන් මුහුණ බලා මාගේ හිස රුජා අන්තර්ධාන විය, මට පෙර දවස් සේ ම ඉස ලඝූ විය, මේ සත් හවුරුද්ද මුළුල්ලෙහි නුඹ මට කැරවූ ප්‍රතිකාරයෙන් මෙබඳු වූ සැපයක් නො ලද්දෙමි, ම පුතණුවන්ට සමාධියක් කරන්නැ යි කීහ. ඒ වෙලෙහි සියලු පරිවාර ජනයෝ සාධුකාර දුන්හ. ඉක්‌බිත්තෙන් ජීවකයන්ට සිටාණන්ගෙන් සාරදහසක් හා, සිටුදේවන්ගෙන් සාරදහසක් හා, පුතණුවන්ගෙන් සාරදහසක් හා, යෙහෙළණියන්ගෙන් සාරදරහසක් හා මෙසේ සොළොස් දහසක් නීල තක්‌ෂාපණ සංඛ්‍යාත වු රන් දී අසුන් යෙදු රථයක් හා දාස දාසීන් ගව මහීෂායන් ආදී වූ බොහෝ සම්පත් දුන්හ.
පැහැදිලි කිරීම්
ව්‍යාසන - විපත්ති වූයේ ය
වාසි කියකියා - අහංකාර වචන කියමින්
වාසල - දොරටුව
බඩ සා- බඩගින්න
බත් ලවාගෙන- බත් බෙදවාගෙන
නන් නො දොඩා- ප්‍රලාප නො කියා (නිරර්ථක වචන නො කියා)
සාර භාර තෙපුල් - හරවත් වචන (අර්ථවත් වචන)
පතක් පමණ - කාලක් (හුණ්‌ඩුවක්) පමණ
ඉස ලඝූ විය- හිස සැහැල්ලු වූයේ ය.
සමාධියක්- සංග්‍රහයක්
යෙහෙළියන්ගෙන් - ලේලියගෙන්
සොලොස්‌දහසක් නීල කක්‌ෂාපණ - නීල කහවණු දහසය දහසක්
අවබෝධය
1. සිටු දේවියට වැළඳි තිබුණු රෝගී තත්ත්වය පැහැදිලි කරන්න.
2. සිටුදේවිය වෛද්‍යවරයාගේ දකෂතාව මුලින් ම නිගමනය කළේ කවර කරුණක් සලකාගෙන ද?
3. ජීවක වෛද්‍යවරයා ශාස්‌ත්‍ර ගෞරවයෙන් හා ආත්ම විශ්වාසයෙන් යුක්‌ත වූවෙකු බව පැහැදිලි වන ප්‍රකාශය කුමක් ද?
4. සිටුදේවිය දැඩි ලෝභී තැනැත්තියකැයි අනුමාන කිරීමට ජීවක පෙළඹුණේ ඇයි?
5. සිටුදේවය ජීවක වෛද්‍යවරයාගේ සේවය අගය කළ ආකාරය පැහැදිලි කරන්න.
6. සිටුදේවියගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ මොනවාද?
භාෂා හුරුව
1. පහත සඳහන් වාක්‍යාංශවල අර්ථය පැහැදිලි වන සේ වාක්‍යය බැගින් ලියන්න.
i උපයන අවස්‌ථාවෙහි
ii කලකිරී සිටියහ.
iii ඉතා සතකුටු ව
iv සාමීචි කථාකොට
v බිම හුණු තෙලිත්ත
2. වරහන තුළින් සුදුසු අකුරු තෝරාගෙන හිස් තැන් සම්පූර්ණ කරන්න.
i අසු කෙ - ක් ධනය (ල/ළ)
ii මහ සිටා - න් (න·/ණ)
iii බලවත් ශීර් - බාධය (ෂා·/සා/·ශා)
iv වෛද්‍ය - ස්‌ත්‍රය (ෂා·/ශා/සා)
v නිර් - ත ළමයා (බී·/භී)
vi අනර්ඝ - ෂධ (@ඖ·/ඖ)
vii මු - සෞඛ්‍යය (ක·/ඛ)
viii මහඟු අවස් - ව (තා/ථා)
3. පහත දැක්‌වෙන වාක්‍යංශවල තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථ ලියන්න
i සත් හවුරුද්ක් මුළුල්ලෙහි
ii සත් පුරුෂයන් සිටින
iii සියලු සත් හට මෙත් වඩමු
iv හිඳිනා අසුන් පනවා
v ඇමතිවරුන් කැඳවීමට රජතුමා යැවූ අසුන් පත්
vi අසුන් යෙදු රථය
vii සිටු දේවීන්ගෙන් සාර දහසක්
viii සාර වූ මහ පොළොව
ix වර්ණනාවෙහි සාරය හඳුනාගෙන
x අසු පිටින් බට සෙනෙවියා
xi බට යොදා දිය බස්‌වා
xii නුවරට බට කුමාරිකාව රැගත් පෙරහැර.
xiii මැලවී ගිය වත
xiv සුදු වත හැඳි කාන්තාව
xv හෙතෙම යසෝධරා වත කියවා
වියරණ
i සිටුවරයා වෙදවරුන් කැඳව ය.
ii සිටුදේව ජීවකයන්ගේ වයස විචාරා පණිවිඩ යැවුවා ය.
iii තෙල් ඉසට නැඟීම හා සමඟ ඉසරුජා අන්තර්ධාන විය.
ඉහත දැක්‌වෙන වාක්‍යවල තද කළු අකකුරින් මුද්‍ර්ත පද කියවා බලන්න. සිටුවරයා යන්න පුරුෂ ලිංග නාම පදයකි. සිටුදේව යන්න ස්‌ත්‍රී
ලිංග නාම පදයකි. ඉසරුජා යන පදය නපුංසක ලිංග නාම පදයකි.
(අ) පහත දුක්‌වෙන නාම පද නිසි පරිදි යොදා වගුව සම්පූර්ණ කරන්න.
ජීවකයා, කෙල්ල, බුලත්, යෙහෙළිය, බෙහෙත්බඩු, පුතණුවෝ, දාසිය, අශ්වයා, ඖෂධ, දාසයා, දියණියෝ, සම්පත්
පුරුෂ ලිංග නාම පද | ස්‌ත්‍රි ලිංග නාම පද | නපුංසක ලිංග නාම පද |
(සිටු දේවිය, සිටුවරයා, ධන සම්පත්, හිස රුජාව)
i සිටාණන්ට අසූ කෙළක් .................. හිමි විය.
ii .......... සිටු දේවියට වෙදකම් කළේය.
iii .......... ජීවකයාගේ වචන අසා සතුටු වූවාය.
iv තෙල් දැමීමෙන් ............... සුව විය.
v ............... වෛද්‍යවරයාට බොහෝ සම්පත් දුන්නේය.
ක්‍රියාකාරකම්
1. මෙම පාඩම ශබ්ද නඟා කියවන්න.
2. මේ කථාව කෙටියෙන් පන්තියට කියන්න.
3. වෛද්‍යවරයකු හා රෝගියකු අතර ඇති විය හැකි කතා බහක් ලියන්න.
4. ඔබේ පරිසරයේ ඇති ඖෂධ පැළෑටිවල තොරතුරු ඇතුළත් ක්‍ෂෙත්‍ර පොතක් සකස් කරන්න.
5. ඔබගේ විදුහලෙහි පැවැත්වෙන 'දේශීය ඖෂධ පැළෑටි' ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස දන්වමින් දෙමව්පියන් වෙත යැවෙන ආරාධනා පත්‍රයක් ලියන්න.