මාටින් රැට්‌ලර් සහ බානි යාත්‍රා කළ නැව මුහුදු කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් අබලන් ව ගල්පරයක හැපී මුහුදුබත් විය. ඇඳිරි වැටීගෙන එද්ඳී මේ මිතුරෝ දෙදෙනා බ්‍රසීලයේ වෙරළට පීනා ගොස් පණ බේරාගත්හ. එහෙත් සැඬ සුළඟට හා මහ වැස්‌සට බියෙන් කැලෑ වැදුණු ඔවුහු වනචාර ඉන්දියානුවන් විසින් අල්ලාගනු ලැබූහ. ඉන්දියානුවෝ මේ මිතුරන් දෙදෙනා සැතපුම් ගණනක් ඈතින් පිහිටි සිය ගමට රැගෙන ගියහ.
මිතුරන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් කොට හිර කර තැබීමට ඉන්දියානුවෝ තීරණය කළහ. මාටින් රැට්‌ලර්ට ඉරිඟු කෙතේ වැඩ කිරීමට සිදු විය. බානිට සිදු වූයේ කුමක්‌දුයි මාටින් නොදත්තේය. වහල් වැඩ මාටින්ට නුහුරු ය. කවර දා, කෙසේ මේ හල් බැම්මෙන් මිදෙන්ට හැකි වේ දැයි සිතාගැනීම පවා ඔහුට නොහැකි විය. කෙසේ වුවද ඔහු ගැළ ව යැමේ බලාපොරොත්තුව සුන් කර නොගත්තේ ය. තමාට පැවරුණු වැඩ කොටස හැකිතරම් හොඳින් කිරීම මාටින්ගේ අදහස විය. ඔහුගේ ක්‍රීයාශීලීභාවය ඉන්දියානුවන්ගේ ද විස්‌මිතයටත් ගෞරවයටත් හේතු විය.
මාටින් පලා යෑමට දැක්‌වූ ආසාව දිනෙන් දින ම වැඩෙන්නට විය. සතුන් දඩයමට මාටින් දැක්‌වූයේ ඉමහත් සමත්කමකි. ඒ නිසා දඩයමට යන විට මාටින් ද කැඳවාගෙන යෑමට ඉන්දියානුවෝ කැමති වූහ. මෙසේ දඩයමට යැමෙන් වටපිටාව තේරුම් ගැනීමට හැකි වීම තමාට ඉන්දියානුවන්ගෙන් ගැළව පලා යෑමට ප්‍රයොජනවත් විය හැකි යයි මාටින් සිතුවේය. ඔහු කාගේත් හොඳ හිත දිනා ගත් නමුත් කිසිවෙකු සමඟ කුලුපග නොවීමට වග බලා ගත්තේ ය.
ඉරිඟු කෙත්වල වැඩ අවසන් වූ පසු නිදැල්ලේ හැසිරීමට මාටින්ට ඉඩ ලැබුණු නමුදු, ඔහු රැක බලා ගැනීමට මුරකරුවෙකු ද යොදවනු ලැබ සිටියේය. ඉන්දියානුවන්ගේ ගමට නුදුරින් කඳුවැටි පේළියක් විය. කඳු වැටි අතරින් ගලා බසින නදියේ සැඬ දිය පහර දෙස බලා සිටීමට මාටින් දුක්‌වූයේ ඉතාමත් ආසාවකි. දිනපතා ම සැන්දෑ කාලයේ කඳු ගැටය වෙත පැමිණෙන ඔහු වහල්කමින් ගැළව යන මඟක් කල්පනා කළේය. කෙතරම් අනතුරුදායක වුව ද, ගඟට පැන සැඟව පලා යා යුතු යයි අන්තිමේඳී ඔහු තීරණය කෙළේ ය.
දිනක් කඳු ගැටය ළඟට පැමිණි මාටින් ගඟට පැනීමට තරයේ ම සිතා ගත්තේ ය. "පල්ලස දිහාව බලන්නත් බයයි. වතුර පාර වේගයෙන් ගලා යනවා...... පැන්නොත් මැරෙන්න පුළුවනි......... මැරුණත් මෙතන හිටියත් එක වගෙයි....... පැන්න විත්තියක් අරූට අඟවන්න හොඳ නෑ. කකුල පැයලී වැටුණු බවක් අඟවන්න ඕනෑ....... මට දෙවියන්ගේ පිහිටයි....'
වහල් බවේ අමිහිරි බව සහ නිදහසේ මිහිරි බව පිළිබඳ සිතිවිලි ඔහුගේ සිතෙහි නළියන්ට විය. මාටින් අහස දෙස බලුවේය, දෙවියන් යැද්දේය. අනෙත් විදහා මඳ වෙලාවක් ප්‍රතාපය දෙස බලා සිටියේය. අන්තිමේඳී ගල්පර නැති තැනක් බලා ගඟට පැන්නේ ය. මෙයින් බලවත් කම්පාවට පත් වූ මුරකරුවා පල්ලමට වේලයෙන් දිව අවුත් මාටින්ට සිදු වූ විපත ඇසිපිය නොහෙළා බලා සිටියේ ය.
සැඬ පහරට හසු වූ මාටින් නොපෙනී යන තුරු බලා සිට ඔහු සුසුම් ලෑවේය. මාටින්ගේ පිදුරු කොප්පිය දිය සුළියකට අසුව කැරකැවී නොපෙනී ගියේ ය. මාටින් ගඟට වැටී මළ බව ඉක්‌මනින් ම ගම පුරා පතළ විය. ඒ පුවත ඇසූ අය දුක් සුසුම් හෙළුහ. සැඬ පමහරට අසු ව මඳ දුරක් ගසාගෙන යනු ලැබූ මාටින් මුළු වැර යොදා පීනා කඳු ගැටයෙන් ඉදිරියට නෙරා ගිය පැතලි බිම් කඩකට බඩ ගෑවේ ය. ඔහු එහි බොහෝ වේලාවක් වැතිර සිටියේය. පණ බේරීම ගැන ඔහුට ඇති වූ ප්‍රීතීය නිමිහිම් නැති විය. ඔහු ගල් තලයෙන් නැඟී වටපිට බැලුවේ ය. සුවිසල් තුරු පෙළින් වැසී ගිය කඳු වැටිවල සුන්දරත්වයෙන් ඔහු වසී විය. සිතෙහි හටගත් හදිසි ප්‍රීතිය හීන වෙත් ම ඔහුට යථා තත්වය අවබෝධ විය. ඉන්දියානුවන්ගේ නිදහස් වූ නමුදු කෑම බීම සහ අවි ආයුධ නැති ව බියකරු වනය මැදින් ගමන් කිරීම අනතුරුදායක බව ඔහුට වැටහිණි. ආපසු ගමට ගොස් ඉරිඟු පිටි සහ දුනු හී ආදිය හොරකම් කරගැනීමට ඔහු ඉටා ගත්තේ ය.
ඇඳිරි වැටී පැය දෙකකට පමණ පසු ඔහු කන්ද උඩට බඩ ගෑවේ ය. ගලින් ගලට ලය තබමින් වැටෙමින් හා බඩගාමින් ගොස් උසම බිමට ඔහු නැග ගත්තේය. මාටින්ගේ සිත බියේ සහ සැකයේ අඳුරු වලා පටලයෙන් වැසී තිබිණ. ඔහු සෙමෙන් සෙමෙන් පැල්පත් කරා ළඟා වූයේ ය. පවුල් කීපයක් ම දඬයම් පිණිස ඈත පෙදෙසකට ගොස් ඇති බව ඔහුට වැටහිණි. මුළු ගම පුරා පැතිර තිබුණේ දැඬි නිහැඬියාවකි. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. සිතෙහි දිරිය උපදවා ගත් ඔහු සෙමෙන් ගමන් කොට පැල්පතක කවුළුවෙන් එබී බැලුවේය. ඔහු කිසිවෙකු නුදුටුවේ ය. කිසිවෙකුගේ හඬක් පවා ඔහුට නොඇසිණි. එහෙත් පැල්පත තුලට අඩිය තබත් ම යම්කිසිවකකු ගොරවන හඬ ඔහුට ඇසුණේය. වහා ම එතැනින් පලා ගිය ඔහු පඳුරක් අස්‌සේ සැඟවුණේ ය. මඳ වෙලාවකට පසු බියෙන් සැකයෙන් යුතුව තවත් පැල්පතක් තුළට රිංගුවේ ය. පැල්පත තුළ කිසිවෙකු සිටින බවට සලකුණක් පවා ඔහු නුදුටුවේය.
යුහුසුලුව අඳුරේ ද අතපත ගා මල්ලක් සොයාගත් ඔහු එය ඉරිඟු පිටිවලින් පුරවා ගත්තේය. දිග පිහියක් ද අත් පොරොවක්‌ද, දුන්නක් හා හීයොවුරක් ද ගිනි දැල්වමට ගල් පතුරක්‌ද, නිදා ගැනීමට හැමොක්‌කද, පිදුරු තොප්පියක් ද ඔහු සොයා ගත්තේ ය. ඔහු පැල්පතෙන් පිට වන්ට සැරසුනා පමණි. බියෙන් ඇළලුණු ඇස් දෙකක් ඔහුට දක්‌නට ලැබුණි. ඔහුගේ ඇඟෙ ලේ වතුර විය. අත් පා දරදඬු විය. තමා දෙස බියෙන් බලා සිටින ඉන්දියානුවා අඳුර අතරින් ඔහුට පෙනුණේය.
"ඔක්‌කොම ඉවරයි. කෑගහන් ඉස්‌සෙල්ලා මූට පිහියෙන් අනිනව ද?..... නෑ... නෑ.......... එහෙම හොඳ නෑ. ඌ ඉන්නේ මර බයෙන්. හරි ............ දැන් තේරෙනවා. මම මැරුණ විත්තිය ඌ දන්නව ඇති......... ඌට හිතෙනව ඇති මේ මගෙ අවතාරය කියල. සැකයක් නෑ.''
මාටින් මඳක් ඉදිරියට ගොස් බියකරු වෙසක් පෑවේය. කොලුවා බියෙන් ගල් ගැසුනේය. අවතාරයක් මෙන් දොරකඩ දක්‌වා ගිය මාටින් වේගයෙන් පලා ගොස් තුරු වදුලක සැගවුණේය. තමා පසුපස එන්නෙකු නැති බව තේරුම් ගත් ඔහු කඳු බෑවුමට ගොස් මල්ල හොඳින් ගැටගසා උරෙහි එල්ලා ගෙන ඉදිරියෙන් පෙනෙන කඳු වැටිය බලා ගංගා නිම්නය ඔස්‌සේ ගමන් කළේය. නොනැවතී පැය හතරක්, පහක් පමණ ගමන් කළ ඔහුට අහස පුරා විහිදෙන අරුණලෝකය දක්‌නට ලැබිණි. ඔහු නොනැවතීම ගමන් කළේය. දෙපා වේදනාවේන් මිරිකුණ ද ඔහු ගේ සිතට දැනුණේ ලොකු සැහැල්ලුවකි. ගිරිකුළ තරණය කොට අනෙක් පසට යන තුරු ඔහු මඳ වෙලා වක් වත් විවේක ගැනීමට නොසිතුවේ ය.
එක්‌තරා පියකරු උදෑසනක වනය මැදින් වැටුණු පාරක් දුටු ඔහුගේ සිත ප්‍රිතියෙන් පිනාගියේය. ගසත් යට ලැඟුම් ගත් ඔහු දිවා භෝජනය පිළියෙල කොට ගත්තේ ය. මිනිසුන් කැලෑ පාරෙන් ගමන් කරන්නේ කලාතුරකින් නිසා මඟ අසල ම දවස් කීයපක් රැඳීසිටීමට ඔහු විටෙක කල්පනා කළේය. තවත් විටෙක කැලෑ, පාරක් දිගේ යෑමට සිතුවේය. මෙසේ දෙගිඩියාවෙන් පසු වෙමින් සිටි ඔහුට හිටි හැටියේ අසුන්ගේ කුර ගැටෙන ශබ්දයක් ද, මිනිස් කටහඬක්‌ද ඇසුණේ ය. මාටින්ගේ සිත් තුළ බලාපොරොත්තුව මෙන් ම සැකය ද පහළ විය. ඔහු දැවැන්ත ගසකට මුවා ව බලාගෙන සිටියේය.
ඔහු බඩු පොදි උසුලා ගත් බූරුවන් රංචුවක් දක්‌කාගෙන එන අසරුවන් එය දෙනෙකකු දුටුවේය. ඔවුන්ගෙන් පිහිටක් ලැබිය හැකිය යි මාටින් සිතුවේය. සැඟව සිට තැනින් එළියට ආ මාටින් ශබ්දයක් කෙළේය. තිගැස්‌සුණු අසරුවෝ පිස්‌තෝල ඇදගෙන වටපිට බැලුහ. දුහු හී ගත් කඩවසම් සුදු තරුණයා දුටු ඔවුහු පිස්‌තොල බඳ පටිවල රුවාගෙන ඔහු ළඟට ආවෝ ය. එවුන් පෘතකුගීසි බසින් කී දේ මාටින්ට නොතේරුණේය.
"ඉංග්‍රීසි කතා කරන කෙනෙක් මෙතැන ඉන්නවා ද?'' මාටින් ඇසීය.
"ටිකා.......ක් දන්නවා.........බොහෝ....ම ටිකයි ............. මේ කෙහේ ඉඳලා ද එන්නෙ. ?'' එකෙක් ඇසුවේය.
"මම ඉන්දියානුවන්ට අහුවෙලා හිටියා සති ගණනක්. ගඟට පැනලා උන්ගෙන් බේරුණා, දැන් මුහුදු වෙරළට යනව. එහෙම නැත්නම් ටවුමකට ගිහින් රස්‌සාවක් හොයා ගන්නවා. ''
"හෝ, එන්න මල්ලි අපිත් එක්‌ක යන්න. දියමන්ති පතළෙට ගියාම රස්‌සාවක් සොයා ගන්න පුළුවනි............... නගින්න අර අශ්වයා පිට..... යමු..ඉනක්‌මනට" අසරුවෙක් කීය.
අසෙකු පිට නැගුණු මාටින් අමුත්තන් සමඟ ගමන් කළේය. පසු දින සවස් වරුවේ ඔවුහූ දියමන්ති පතළය කරා ළඟ වූහ. ආකාරය බාර බාරොන් පැගෝනි දොරටුව ළඟ පයිප්පයක් උරමින් සිටියේය.
"මොහු බොහොම සැඩ පරුස කෙනෙක් වෙන්න ඕනෑ'' මාටින් තමාට ම කියාගත්තේ ය.
දිගට වැඩුණු රැවුලක් ඇති දැවැන්ත පුරුෂයෙකකු වූ පැගෝනි හිස ලා සිටි තොප්පියේ පළල වාටියෙන් ඔහුගේ මුහුණ වැසී තිබුණි.
පැගෝනි අමුත්තන් පිළිගැනීමට නොසිට දෙවුර ගස්‌සා ගෙන කාමරයට වැදී දොර අඩවල් කෙළේය.
"ඔහු කිසි ම චාරිත්‍රයක් දන්නේ නැති පාටයි.'' මාටින් කීය.
"ඔහුගේ ගතිගුණ අමුතුයි. ඔහු ඔබ දෙස හොඳට බැලුවා.'' තෝල්කයා කීයා.
"කමක් නෑ. අපි යමු'' මාටින් කීය.
තෝල්කයා දොර ඇරගෙන පැගෝනි ළඟට ගියේ ය. පැගෝනී තෝල්කයාට කතා කළේ සැඬ පරුස බසිනි. මාටින් සමඟ කතා කිරීමට පැගෝනි උනන්දුවක් නොදුක් වූ යේය. තෝල්කයා මාටින් කාමරයක් තුළට කැඳවාගෙන ගියේය.
"ලොකු මහත්තය කියනව උඹ අලි හොරෙක්‌ය. කියල. දියමන්නි හොරකම් කරන්න මෙහෙ ඇවිල්ලලු. උඹ හිර කරන්න කියා මට අණ කළා......''
මෙසේ කී තෝල්කයා මාටින් කාමරයේ දමා දොර වසා ගියේය. නොසිතූ නොපැතී දෙයක් සිදු වීම නිසා බලවත් විස්‌මසට පත් වූ මාටින් ගොළු ව සිටියේය. ඔහුට මේ අඳුරු කාමරයේ පැය දෙකක් පමණ නිහඬව සිටීමට සිදුවිය. ඔහුගේ කුසගින්න ද ඉවසිය නොහැකි තරම් විය. ඔහු එතනින් පැන ගන්නේ කෙසේ දැයි සිතමින් සිටියඳී දොර ඇරුණේය. මෙහෙකරුවෙකු කාමරයට ඇතුළු විය. ඔහු ඉටිපන්දම් කීපයක් දල්වා පිට ව ගියේ ය. මඳ වේලාවකට පසු තවත් මෙහෙකරුවකු පැමිණියේය. පිඟන් සහ හැඳි ගෑරුප්පු අරගෙනය. ඔහු සුදු ඇතිරිල්ලක් මේසය මත එළා පිඟන් ගැරූප්පු ආදිය ඒ මත තබා ඉවත ගියේ ය. කුමක් සිදුවන්ට යන්නේ දැයි මාටින් පුදුමයෙන් බලා සිටියේය.
ගත වූයේ නීමේශයකි.
සුවඳ විහිඳුවන ප්‍රණීත ආහාර බඳුන් කීපයක් ගත් මෙහෙකරුවෙක් කාමරයට ඇතුළු විය. ආහාර බඳුන් මේසය මත පිළිවෙළකට තැබූ ඔහු වචනයක් වක් නොදොඩා කාමරයෙන් දොර වසා දමා ගියේය.
"මේ ලොක්‌කා අරුම පුදුම පුද්ගලයෙක් වෙන්න ඕනෑ. මම හොරෙක්‌ලු! දියමන්ති හොරකම් කරන්න ආවලු.! මේ සුවඳ හමන කෑම දෙන්න ද යන්නෙ ?........ මේ කිසි දෙයක් මට තෙරෙන්නේ නැහැ...........'' මාටින් සිතුවේය. යළිත් දොර ඇරිණ. කාමරයට ඇතුළු වූයේ පැගෝනිය. ඔහු දොර අඟුල් දමා යතුර සාක්‌කුවේ ලා ගත්තේය.
"උඹ මොකටද මෙහාට ආවෙ?''
"අශ්වාරෝහකයෝ මාව මෙතැනට එක්‌ක ආව''
"උඹ උන් අඳුනන්නේ කොහොමද?''
"මං ඒ ගොල්ල අඳුනන්නේ නෑ. මම කැලේ අතරමං වෙලා ඉන්න කොට මෙහෙ එක්‌කගෙන ආවා. රස්‌සාවක් ලබාගන්න පුළුවන් කියල ඒ ගොල්ල කිව්වා.''
"උඹ කියන්නෙ ඔක්‌කොම බොරු. දියමන්ති සොරකම් කරන්න තමයි මෙහෙ ඇවිල්ල ඉන්නෙ.''
"මට ඕනෑ දියමන්තියක් නෑ. මගේ මිත්‍රයා බානි මගෙන් වෙන් වුණා ඔහුට දෙවි පිහිටයි. ඔහුට කුමක් වුණාද ? ඉන්නෙ කොහේද? කියල ආරංචියක් නැහැ........... මට ඕනෑ පුළුවන් තරම් ඉක්‌මනින් ඔහු සොයාගෙන ගෙදර යන්න........''
"උඹ බානිට හුඟාක් ආදරේ ද?''
ඔව්. අපි පණට පණ වගේ හිටියේ. ඉන්දියානුවෝ අපව වෙන් කළා. මට ඔහු හමුවෙනවා නම් දියන්තිවලට වඩා වටිනවා.''
"මාටින්..............''
"මාටින් ? කොහොමද මගේ නම දැනගත්තේ?''
"තොල්කයා කිව්වා.''
"තොල්කයා දන්නේ කොහොම ද? මම ඔහුට මගේ නම කිව්වෙ නෑ.''
"එහෙමද''
"හිස් වැස්‌ම ටිකක් ඉවත් කරන්න.'' මාටින් ඉල්ලා සිටියේය.
"මේ බානි නේද?''
"ඔව්, මගේ රත්තරන් මාටින්. මම මෙච්චර දවස් මාටින් ගැන සිතමිනුයි හිටියේ. මෙහෙම හම්බ වුණ එක කොච්චර වාසනාවක් ද? බානි දෑත් විදහා මාටින් වැලඳ ගත්තේ ය.
යෝජනා :-
1. මේ කතන්දරය මල්ලිට හෝ නංගිට තේරුම් වන පරිද්දෙන් කියවන්න
2. "ඉතින් ඒ දෙන්නට මොනව වුණා ද ඊට පස්‌සෙ?'' යනුවෙන් මල්ලී හෝ නංගී අසයි. කතාව දිගට ලිවූ වොත් ඔබට පුළුවනි. ඒ දෙදෙනාට සිදුවන දේ විස්‌තර කරන්න. කැමැති නම් කතාව තව දික්‌කර ලියන්න.
