මීටර් 100
 

"මුදලිහාමි, හෙට සවස ගෙදර වැඩක්‌ මොකුත් තියෙනව ද?''
"වැඩක්‌ නං නෑ මහත්තයා''
"හෙට සවස මාත් එක්‌ක කැකිරාවට යන්න ලෑස්‌ති වෙලා එන්න පුළුවන් ද?''
"පුළුවන් මහත්තය.''
"එහෙනම් ඉස්‌කොලෙ ඇරිල මාත් එකක්‌ කැකිරාවට යනව කියල ගෙදර අයට කියල එන්න ඕනෑ''
"හොඳයි මහත්තය.''
"දැන් ඉන් අනිද්දා නේ කොළඹ යන්නේ.  එහෙ ගිහින් දුවන කොට මෙහෙදී වාගෙ සරම පිටපට ගහගෙන දුවන්න බෑ මුදලිහාමිට මගේ ගණනේ කලිසමක්‌ මස්‌සල දෙනව හෙට ගිහින් මිම්ම දීලා එමු.''
"හොඳමයි මහත්තය.''
"දැන් එහෙනම් ගෙදර යන්න''
මගේ ඉහේ මල් ගොන්නක්‌ ම පිපුණා වගේ මට දැනුණා.


අලුත් මහත්තය ආවට පස්‌සේ ඉස්‌කෝලෙ කලින් තිබුණ පාළු ගතිය දැන් නෑ. ළමයිනුත් වෙනදාට වඩා ආසාවෙන් ඉස්‌කෝලෙ එනව. පසුගිය වාරේ අපේ ඉස්‌කෝලෙ ක්‍රීඩා උත්සවයක්‌ තිබුණා. ඒකට මුල් වෙලා වැඩ කෙරුවෙත් අලුත් මහත්තය. ඒකෙන් දහතුනෙන් පහළ මීටර සියය දිවිමේ තරඟෙන් පළමු වෙනිය උණේ මමයි. ඒ පාර අලුත් මහත්තය මාව කැකිරාවටත් එක්‌කගෙන ගියා. එහෙදිත් මං පළමුවැනියා උණා. ඊට පස්‌සෙ අනුරාධපුරේටත් එක්‌ක ගියා. එහෙඳීත් මං පළමුවැනියා උණා. එදා තමයි මං ඉස්‌සරවෙලා අනුරාධපුරේ ගියේ. මගෙ අම්මේ අනුරාධපුරේ කඩ සාප්පු තියෙන තරං! ඒ වගේ මයි ඒවයේ තියෙන දේවල්. අපේ ගමේ විදානෙගෙ කඩෙත් කඩයක්‌ ද කියල මට හිතුණා. කොළඹ ඊටත් වඩා ලොකු සාප්පු ඇති. සාප්පු විතරයැ ? කොළඹ මූදක්‌ තියෙනව ලු. මූද අපේ වැව නෙවෙයි. කලාවැවටත් වැඩිය හුඟාක්‌ ලොකු ඇති. එකේ නැව් යනවලු කොළඹ වරායකුත් තියනවලු මට ඒව ඔක්‌කොම බලන්ට පුළුවන් වෙයි.


එදා මං ඉස්‌කොලෙ ඉඳලා ගෙදර ආවේ කොහොමද කියල මට මතක නෑ. වෙනදා පාරේ තියෙන වක්‌කඩවල්, ඒ දඬු, වට කඩුලු එදා තිබුණද කියලවත් මට මතක නෑ.


"අම්මෙ, හෙට අලුත් මහත්තයත් එක්‌ක මං කැකිරා යනව.''
"ඒ මොකට ද?''
"මට අනිද්දා කොළඹ යන කොට ඇදගෙන යන්ට කලිසමක්‌ මස්‌සොවංට, අලුත් මහත්තයා මස්‌සෝල දෙන කිව්ව.''
"හැබෑට ? ඉතින් උඹට එහෙදිත් දිනංට පුළුවන් වෙයි ද? කොළඹ රටේ ළමයි බොහොම හපන්නු ලු''
"හ්ම්, එහෙනං කෝ ඔය සරමයි බැනිමයි ගලෝල දියං හෝදලා දාන්ට. කැකිරා යන කොට කිළුටු ඇඳගෙන  ගිහෑකෑ ? අන්න කුස්‌සියේ මයියොක්‌කා තම්බපුවා ඇති. අර මඩක්‌කුවේ ලුණුමිරිස්‌ ඇති. අප්පොච්චිටත් ලුණු මිරිස්‌ ටිකක්‌ ඉතුරු කරලා කාපං.''


මං අමුඩේ ගහගෙන සරමයි බැනියමයි ගලෝල අම්මට දුන්නා, අම්මා ඒවත් අරං වැවට ගියා, මං කුස්‌සියට වැදුණා. අලුත් මහත්තය මං කලිසම විතරක්‌ නොවෙයි ලස්‌සන කමිසෙකුත් අරන් දුන්නා. මං ගෙදරඳී තුන් හතර සැරයක්‌ම ඒවා ඇඳල බැලුව.''


"ඒ ඇඳුම් ඇද ගත්තහම අපේ මුදලියත් හරි හැඬයි. කකුල් දෙකට සපත්තු දෙකකුත් තිබුණ නං ඇරපු අතක්‌ නෑ. සෙයිලමේ පැංචෙක්‌ වගෙ මයි.''


පේ අප්පොච්චට හීන් සැරේ අම්මා කියනවා මට ඇහුණා
"කොළඹ ගිහිං ආවට පස්‌සෙ මටත් ඕක ඇඳල බලංට දියං අයියෙ.'''
හීන් මල්ලී මගේ කලිසමයි කමිසෙයි අත ගඟා කං කෙඳිරි ගෑවා.
"ඔය හිං එකා මොකදැ කරන්නෙ ? අතේ තියෙන ජරාව ඇදුමෙ ගාන්නෙ නැතුව පැත්තකට වෙයං.''
අම්මා මල්ලීට ගොලු ගත්තා.
"කොළඹ යන දවසෙ මෙහෙ ඉඳල මං ඕවා ඇඳගෙන යංට ඕනැ නෑ. අකුලාගෙන ගිහින් කෝචිචියේ දී ඇද ගනිං. ආයෙ මේකෙ එවුංට ඇහැ ගැහෙංට ගෙදර ඉඳලා ම ඇඳගෙන යන්නෙ මොකට දැ ?''


අප්පොච්චා එහෙම කිව්වෙ මං කලිසම ඇදගෙන යන කොට ගමේ උදවියගෙන් මේ ඇස්‌වහ කටවහ වැදෙයි කියල හිතාගෙන වෙන්ට ඇති. ඇස්‌වහ කටවහ වැදුණොත් මට දිනන්ටත් බැරි වෙයි. ඇස්‌වහ කටවහ වදින්නෙ මං කලිසං ඇදගෙන ගියොත් නේ.


"ඇයි මුදලි`හාමි සූට්‌ එක ඇදගෙන ආවෙ නැත්තෙ''
කොළඹ යන දවසෙ උදේ පාන්දර ගිනිවුලකුත් බැදගෙන මාව ඉස්‌කොලෙට එක්‌කගෙන ගිය අපේ අප්පොච්චගෙන් මහත්තය ඇහුවා.
"කිළුටුවෙයි කියල මං කිව්ව කොළඹ කිට්‌ටුවට ගිහිං ඇද ගන්ට කියල.''
අප්පොච්චි මගේ මූණ දිහා බලාගෙන කිව්වා. අපි පුංචිරාළ මාමලගෙ මඟුල් ගෙදර යන කොටත් ඇඳුම් පොට්‌ටෙනි ගහගෙන ගිහිං මඟුල් ගෙදර කිට්‌ටුවදී තමයි ඇදගත්තෙ. ඒත් මං නං අද කලිසම ඇදගත්තෙ නැත්තෙ ගමේ මිනිස්‌සුන්ට පෙනෙයි කියලා. මහත්තයයි මායි ඉස්‌ටේසමට ඇරලල අපේ අප්පොච්චා යන්ට ලෑස්‌තිවෙලා මගෙ ඔළුව අතගාලා පුතා අයියනායක දෙයියංගෙ පිහිටෙන් ගිහිං වරෙං කියල කිව්ව. එළිය වැටෙන්ට කලින් අපි කිරි ටික දෝවගන්ට තියෙන හින්ද මිසක්‌ නැත්තං අපි කෝච්චියට ගොඩ වෙන කල්ම
අප්පොච්චත් ඉස්‌ටේසමේ ඉඳියි.


අද කෝච්චිය වෙනදාට වඩා පරක්‌කුයි වගේ. වෙනදා නං කුකුළා දෙසරේ අඬලන කොට කෝච්චිය හූ කියාගෙන එනව. අපේ ගෙදරට ඇහෙනව. එතකොට තමයි මං නැගිටින්නෙ. අද නං කෝච්චිය හූඟක්‌ පරක්‌කුයි. කොඩි අත බාන මිහිහට මතක නැතිවෙලා වත්ද?


කොඩි අත පතට බාන කල් කෝච්චිය එනවැය. අලුත් මහත්තය ඉස්‌ටේසමේ මහත්තය එක්‌ක කතා කර කර ඉනනෙ කෝච්චිය ගැන වෙන්ට ඇති චිං මේ කෝච්චිය අද එන්නෙ නැතුවා වද්ද? පහු ගිය සුමානෙ දවසකුත් ඉහළගම හරියෙඳී කෝච්චිය පිළි පැන්නලු. අදත් එහෙම වෙලාවත්ද? එහෙම උනොත් අපට කොළඹ යන්ට බැරිවෙයි. එතකොට තරඟ දිවිල්ලත් ඉවරයි. කොළඹ බැලිල්ලත් ඉවරයි.


චිං ! අපරාදේ ! නෑ. නෑ  කෝච්චිය ආවෙ නැතත් මහත්තයා කොහොම හරි මාව කොළඹ එක්‌කගෙන යයි. ඒ මහත්තයට ඕනෑ එකක්‌ කරන්නට පුළුවන්. හරි උගතා. සල්ලිත් තියෙනව. අපේ ඉස්‌කොලෙ තියා මේ කෝරළේ වත් නැතුව ඇති එච්චර හොඳ මහත්තයෙක්‌.


"මුදලිහාමි නින්ද ගිහින් ද? දැන් කෝච්චිය ළඟයි කෝ අර පාර්සලේ. ඒක අමතක කරන්න එපා.''
මං කල්පනා කර කර උන්නෙ මගේ ඇඳුම් පොදියත් තුරුල්කර ගෙනමයි. මහත්තයට ඒක පෙනෙන්ට නැතිව ඇති. මට නින්ද ගිහිං කියල මහත්තයට හිතුණට මොකද මට ගෙදරදී වත් හොඳට නින්ද ගියේ නෑ. නින්ද යාගෙන එනකොට මට කොළඹ කෝචිචිය එනව වගේ ඇහෙනවා. මං ගැස්‌සිලා ඇහැරෙනව.


අර පෙනෙන්නෙ කෝචිචියෙ එළිය ගස්‌ අස්‌සෙන් එහෙට මෙහාට හැරෙනව. රෑට පොල්ගස්‌වල ඇට්‌ටි කන්ට වදුරෝ ඇවිත් ද කියල විදානෙ මාම, බැටරිය අල්ලනව වගේ. කෝච්චියෙ හුගක්‌ හිටියොත් මට ගොඩවෙන්ට බැරි වෙයි. වද්ද? කොහොම හරි ඇතුළට රිංගාගත්තොත් ඉඳගන්ට නං නැති උණත් කමක්‌ නෑ. එක වැඩියෙන් හොඳයි. මට ජනේලයක්‌ අයිනෙ හිටගෙන වට පිට බල බලා යන්ට පුළුවන්. දැන් කළුවර තව ටික වේලාවකින් ඉර පායයි නේ.


මේ කොච්චිය මෙතන තවත්නන එකක්‌ නොවෙයි වත් ද? එනව තද වැඩියි. නෑ. නෑ. ඔය  ටික ටික සැර බාල වෙන්නෙ.
"මුදලිහාමි" "හ්ම්.''
අලුත් මහත්තය මගේ අතින් අල්ලාගෙන කෝච්චි පෙට්‌ටිවලට එබිකම් කර කර යන්නෙ ඒවා ඉඩ නැති හින්දා වෙන්ට ඇති. එක පෙට්‌ටියක වත් ඉඩ නැතුව ගියොත් ?


"හා නගින්න මුදලිහාමි, ඉක්‌මනට නගින්න.''
කෝචිචි පෙටිටියෙ සෙනග හත් අට දෙනෙකකුට වැඩිය නෑ. ඒ ගොල්ලත් බංකුවල දිගැදිල. ඒත් අපට ඉඳගන්ට ඕනෑ තරම් ඉඩ තියෙනවා. කොළඹ ගිහින් ආපුහාම අපේ මහත්තයට කිරි මුට්‌ටියක්‌ මුදෝල ගිහින් දෙන්ට ඕනෑ. මේ සැරේ ගොයම් පාගපුවාම අලුත් බත් කන්ට හාල් ටිකකුත් ගෙනිහිං දෙනවා. අවුරුදු නිවාඩුවට ගමට යනකොට වේලපු මුව මස්‌ ටිකකුයි මී පැණි බෝතලයකුයි හොයල දෙන්නටත් පුළුවන් උණොත් ? චං මට හිතෙන දේවල් කියන්ට අම්ම හරි මල්ලි මකු හරි නෑනේ. ගිහිං ඇවිත් වත් කියන්නංකො.


අලුත් මහත්තය කිව්වට පස්‌සෙ මං කලිසමක්‌ ඇද ගත්තා. අපි කොළඹට එනකොට උදේ අටට ඉතර ඇති. ඉස්‌ටේසමේ පෙරහැර වගේ සෙනග. අපෙ අපුච්චේ ! රේල් පාරවල් කීයක්‌ තියෙනව ද? හැම පාරක ම කෝච්චි. අපි රේල් පාරවල්වලට උඩින් තරප්පුවක නැගල ගිහින් ආයෙත් බැහැල ඉස්‌ටේසමෙන් එළියට ගියා. කිරි අපුච්චේ සෙනඟ ඉන්නෙ මෙහේ නෙ. සෙනග විතරයෑ කාර් බස්‌, ලොරි, රේස්‌ යනව වගේ. අප්පේ මේවා කොහේ ඉඳල ඇවිත් ද ? තට්‌ටු පිට තට්‌ටු ගෙවල්, කඩ සාප්පු කෙළවරක්‌ නෑ. අපේ ගමේ කවුරුවත් මේවා දැකලා නෑ. ඒ ඇත්තො කොළඹ විස්‌තර අහන්ට අපේ ගෙදර එයි. මං ඔක්‌කොම කියල දෙනව.


අපි තේ බොන්ට හෝටලේකට ගිහිං වාඩි උණා. ඒකේ එළිය පොලු වහලෙ හයි කරල. බලන්ට පුදුමයි. අපි ඉඳගත්ත මේසේ එක එල්ලේ ම වහලෙ තිබුණු රූං පෙත්ත හරි තදෙන් කැරකෙනවා. ඒ වගේ රූං පෙති තුන හතරක්‌ ම තියෙන්නෙ මොක ද? රූං පෙති කැරකෙන කොට හුළං හෝ ගාලා ඇවිත් වදිනවා.


අපි තේ බීලා බස්‌ එකකින් තරඟ පොළට ගියා. ඒක හරි විසාල පෙට්‌ටනියක්‌. අලුත් මහත්තයා මට ඉන්ට තැනක්‌ පෙන්නල කොහෙදෝ ගියා. මං මෙතනින් හෙල්ලෙන්නේ නැතිව ඉන්න ඔනෑ. අප්පේ එන ළමයි කන්දරාව ! සුදුපාට සපත්තකු මේස්‌ දලා සුදුපාට ඇඳුම් ඇඳලා, බලන්න ලස්‌සනයි. මේ ඔක්‌කොම ළමයි වෙන්ට ඇති. කොළඹ තමයි හරි හපන්නු ලු. ඒ ලමයි ලඟ ඉන්නෙ ඒ ඇත්තන්ගෙ ඉස්‌කොලෙ නෑ. නෑ මේ කොළඹ කියෙන්නේ කොජීජ නෙ. ඒ කොලීජවල මහත්තුරු, නෝනලා වෙන්ට ඇති. එහෙනං ඇයි ඒ ළමයි


අච්චර තදෙන් හිනාවෙවී කෑගහන්නෙ ? අපේ ඉස්‌කොලෙ ළමයි නං මහත්තුරු ළඟදි ඔහොම කෑ ගහන්නේ නෑ. ඇයි අර ළමයි දිහා බල බලා හිනාවෙන්නෙ ? ඒ ඇත්තො දැනගන්ට ඇති මං වන්නියෙ කොල්ලෙක්‌ කියල. මට සපත්තු නෑ නේ. "කුරක්‌කන් පිට්‌ටුවා, බඩ ගැටයා, ගොරකයා'' කිය කියා වෙන්ට ඇති ළමයි මට හිනැහෙන්නේ. අර අර ළමයි මා දිහා බලලා රැවුල කරක්‌වන්ට වගේ හදලා කම්මුල දෙක අතලාගා මට ඇඟිල්ල උළුක්‌ කරනවා. මං එහෙ බලන්නේ නැතුව ඉන්ට ඕනෑ. අප්පේ ! මට දමන දාඩියක්‌. අපේ මහත්තය ඉක්‌මනට අවොත්! ආ අන්න තරඟ පටන් අරන් නේ ද? ඉඳා, ඔක්‌කොම දුවන්නේ සපත්තු දාගෙන. මට සපත්තු නැතුව දුවන්ට දෙන එකක්‌ නැද්ද ? අපේ මහත්තයා ඒක අහන්ට ගියා වත්ද? සපත්තු නැතුව දුවන්ට දෙන්ට බෑ කියයි ද?


"මුදලිහාමි, ඔය දුවන්නෙ දහසයෙන් පහළ මීටර සීය. ඊළඟට තමයි දහ තුනෙන් පහළ මීටර සීය. ඒකට තමයි මුදලිහාමි ඉන්නෙ. දැන් නොම්මරේ කියනකොට මුදලිහාමි අර තරඟ පටන් ගන්න තැනට යන්න ඕනෑ. මුදලි හාමි බය වෙන්න එපා දිනන්න පුළුවනි''


අපේ මහත්තයා මගේ කමිස ගලවල ඊට යටින් තිබුණු මේස්‌ බැනියමේ දෙපැතේතේ විසි හතේ නොම්මරය ගහපු කොළ දෙකක්‌ තියල කටු ගහන ගමන් කිව්වා. ඉස්‌සරහ නොම්මර කොළේ තව ඇබිත්තක්‌ පළල් උණා නම් මගේ බැනියමේ ඉස්‌සරහ තියන කජු පුහුලං කහට පැල්ලම වැහිල යයි. දැන් ඒකෙන් ටිකක්‌ පේනව. ඒක දැකල කොළඹ ළමයි තවත් ඔච්චං කරයි ද?


"අන්න නොම්මර කියවනවා. මුදලිහාමි යන්න. හොඳ පුතා වගේ කප් රක ගහන්න''


මහත්තයගෙ කටින් පිට වෙන කොට ම මං තරඟ පටන්ගන්න තැනට යන්ට පිටත් වූණා. මං කොහොම ගියොත් ද හොඳ ? හැල්මේ දුවගෙන යනවද, ඉක්‌මනට අඩිය තියල අඩි ගමනෙන් යනවද ? අර ළමය නම් දුවගෙන එනව. මාත් දුවන්න ඕනෑ. නෑ අර තවත් ළමයෙක්‌ අලි ගමනෙන් එන්නෙ. මාත් එහෙම යනව. මං යන හැටියෙන් කාටත් හිතෙයි මං ගොඩේ කොල්ලෙක්‌ කියල. මම හැල්මේ දුවන්ට ඕනෑ. ආ. අර දුවන්ට ආපු ළමයි මොනව කරනව ද? දුවනවා. දුවනවා ඒත් පුදුමයි. හපන්නු දුවන්ට ලෑස්‌ති වෙන්නෙ එහෙම වෙන්ටෑ. ඔක්‌කොම සපත්තු කාරයෝ පෙළක්‌ ළමයින්ගෙ සපත්තුවල උල් හයි කරල. මං ඉස්‌සරවෙලා දුවනකොට ඒ ගොල්ල කකුල පෑගුවොත් පතුරු යයි. මට බැරිවෙයි ද මේ ළමයි එක්‌කල දුවල දිනන්ට? මේ ඇත්තො කොළඹ කොලීජවල ළමයි. ඔක්‌කොම මට වැඩිය ලොකුයි. ඒ ඇත්තන්ට කොලීජයේඳී දුවන්ටත් උගන්නනවලු. දුවන්ට ඉගෙන ගන්ට තියෙන්නෙ මොනවද? ඉස්‌සරහ රැකගෙනයැ. මා හරක්‌ කී දෙනෙක්‌ පස්‌සෙන් අඹල අල්ලල තියෙනව ද? ඒත් මේ වාගෙ හොඳට සුද්ද කරපු පිට්‌ටනිවල යැ. කටුගාල් අස්‌සෙන් ගල් මුල් උඩින් වැටවල් උඩින් පැන පැන නේ හරක්‌ පස්‌සෙ අඹන්නෙ. නෑ මට දිනන්ට පුළුවනි. මං දිනුවොත් අපේ අප්පොච්චිල අම්මල මල්ලිල හෙම හරියට සතුටු වෙයි. ආ ! මේ මං ගාව ම ළමයත් උල් හයිකරපු සපත්තු දාලා ඉන්නෙ. එයා මගෙ කකුල පාගයි ද?


"කමෝන් සරෝඡ්"
"කමෝන් ප්‍රියාන්''
"කමෝන් ජනක්‌''


ඔය නම් කිය කියා හතර පැත්තෙන් ම කෑ ගහන්නේ මාත් එක්‌ක තරඟෙට දුවන්ට ඉන්න ළමයිනට වෙන්ට ඇති. කවද ඉතින්කමෝන් මුදලිහාමි කියන්ට ඉන්නෙ. එදා ඉස්‌කොලේදි නං කමොන් මුදලිහාමි කියල අපේ නිවාසෙ ළමයි කෑගැහුවා. එතකොට මගෙ හිතට ලොකු හයියක්‌ ආව.


දැන් මේ ළමයි පෙළට ඉන්න. මම සැරසෙන්, එල්වෙන්, කියල වෙඩිල්ල පත්තු කරනකොට ම දුවන්න පටන් ගන්න ඕනෑ. තමන්ට අයිති ලේන් එකේ ම ඒ කිව්වේ මම දැන් ඉන්න ඉරි අතරෙ ම දුවන්න ඕනෑ, තේරුණා ද? හොඳයි දැන් සූදානම් වෙන්න.


සැරසෙන්
එල්ලවෙන්
ඩෝං


"ආ උල් සපත්තුකාරයා මට ඉස්‌සර උණා නේද ? එත් එයාට ටිකිරි අයියගෙ රට නාම්බ විතර හයියෙන් දුවන්ට පුළුවන් ද? මේකෙ දුවන එක කජ්ඡක්‌ ද? ඔය ළං වෙන්නෙ, තව ටිකයි. තවත් ටිකයි. ඔය දැන් හොඳට ම කිට්‌ටු උණේ. මට දිනන්න පුළූවනි. දැන් හරි, දැන් හරි කරට කර. මගේ කකුල් පණ නැති ව යන්ට එනව ද? මළත් කමක්‌ නෑ. කව තදෙන් දුවන්ට ඕනෑ. දැන් හරි උල් සපත්තුකාරයා පහු උණා. මිනිහට මගෙ කකුල පෑගෙයි ද කකුල් කඩල ගියත් කමක්‌ නෑ. තවත් හයියෙන් දුවනට ඕනෑ. දැන්  නං උගර
කට හොඳට ම වේලිලා. ආ සපත්තු සද්දේ ළඟ ම ඇහෙනවා. ආපසු බලන්ට හොඳ නෑ. දැන් පටිය ළඟයි. කොහොම හරි ඒක බිඳගෙන ම යනව. පටිය කඩාගෙන ගියාට පස්‌සෙ මැරිල වැටුනත් කමක්‌ නෑ. හ්ම්, හරි මං දිනුම්.


මේ මොක ද? මගේ අතින් අල්ලගෙන කොහෙද මේ එක්‌ක යන්නෙ ? උල් සපත්තුකාරයත් කවුදෝ මේ එක්‌කරගෙන එනවා.
"නගින්න උඩ ම තට්‌ටුවට!''
මගෙ අතින් අල්ලගෙන ගිය මහත්තය පඩි පෙළක්‌ වගේ එකකට මට නගින්ට කිව්ව. මම නැග්ගා.
මෙන්න තවත් තරඟ ප්‍රතිඵලයක්‌


"දහතුනෙන් පහළ මීටර සීය දිවීමේ තරඟය. පළමු වෙනි ස්‌ථානය අංක විසි හත, කැකිරාව මණ්‌ඩලයේ දොඹැව පැසැලේ කළුබණ්‌ඩාගේ මුදලිහාමි.''


යකඩ කටින් එහෙම කියනවා මට හීනෙන් වගේ ඇහුණා. එතකොට ම සෙනඟ කෑගගහ අප්පුඩි ගහන්ට පටන් ගත්තා. හරියට බටකැලේ ගිනිගත්තා වගේ. තවත් මොනවාදෝ යකඩ කටින් කිව්වා. සෙනග අප්පුඩි ගහන සද්දෙ හින්ද ඒවා මට ඇහුණේ නැ''


මගේ දකුණු අත පැත්තෙ පහළින් තට්‌ටුවේ හිටියෙ උල් සපත්තුකාරයා. මං බිමට බැහැපු හැටියෙ ම උල් සපත්තු කාරයා මා ළඟට ඇවිත් "ඔයා, හරි හපනා. මං ඔයාට සුභපතනවා.'' කියල මං අතට අත දුන්නා. අනික්‌පැත්තෙ හිටපු ළමයත් එහෙම කළා. ඒ ඇත්තො හොඳ ළමයි.


"මුදලිහාමි උඹ දිනන බව මම සහතිකෙන් ම දන්නවා. උඹ හොඳ කොල්ල''


අලුත් මහත්තය මගෙ කිහිලි දෙකෙන් උස්‌සල මාව බිමින් තියල මගෙ ඔලුව අතගෑවා. එතකොට මහත්තයගෙ ඇස්‌වල කඳුළු පිරුණා.


යෝජනා :-


1. ගමේ කතාව කියවද්ඳී ඔබට ඇති වූ හැඟීම ගැන කතාබහ කරන්න.
2. ගමේ කතාවේ නැවත වරක්‌ කියවීමට ඔබ ආසා කරන කොටස්‌ තෝරා ශබ්ද නගා කියවන්න.
3. මුදලිහාමිගේ ජයග්‍රහණය අගය කිරීමට පාසැලේ ළමා සමිතියේ රැස්‌වීමක්‌ පැවැත්විණි. ඒ රැස්‌වීමේඳී පන්තිය වෙනුවෙන් කථාවක්‌ පැවැත්වීමට ඔබට පැවරේ. ඒ කථාව ලියන්න.
4. මුදලිහාමි තරඟයෙන් පැදුණේ යයි සිතා මේ කතාවේ අවසාන කොසට වෙනස්‌ කර ලියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017