දොඩම්වල දෙවියෝ
 

එක්‌ කලෙක්‌ හි දඹදිව කලිඟු රටවැසි එක්‌තරා දුප්පත් බමුණෙක්‌ රැකියාවක්‌ සොයාගෙන ලංකාවට යන්නට කල්පනා කෙළේය. ලංකාවේ සිංහල මිනිස්‌සු බෝ ගහට මහත් ගෞරව භක්‌තියක්‌ දක්‌වන බව දැන සිටි බමුණා පාත්‍රයක බෝ පැළයක්‌ රෝපණය කර ගත්තේය.

ලංකාවට ගොඩ වැදුණු තැන සිට මඟ වියදම සපයා ගැනීම පිණිස ශාස්‌ත්‍ර කීම මැනවැයි සිතූ ඔහු එයට උවමනා නක්‌ෂත්‍ර පොත්පත් ටිකක්‌ද රැස්‌කර ගෙන කඩක ඔතා සූදානම් කර ගත්තේය. ඒ අතර කුඩා දේව රූප, සඳුන් තවරලා ආදී සුඟන්ධ චූර්ණ වර්ග හා දේව පූජාවලට අවශ්‍ය වෙනත් සුලු දේවල් ද පොදියක්‌ බැඳ ගත්තේය. බමුණා සිය බැමිණියත් කැටුව ලංකාවට එන වෙළඳ කණ්‌ඩායමකට එකතුවී නැව් නැග ඇවිත් මාවටුතොටින් ලක්‌දිවට ගොඩ බැස්‌සේය.

මෙසේ ගොඩ බට දෙමහල්ලෝ ජනාවාස පෙදෙස්‌ ගැන අසා පිටත්ව තැන් තැන්වල ලැගුම් ගනිමින් සති කීපයකට පසු මාතලේ පෙදෙසට ළඟාවූවෝය. මාතලේ පළාතේ සංචාරය කර ශාස්‌ත්‍ර කියා දවසේ වියදම සපයාගත් දෙමහල්ලෝ යටිනුවර දොඩම්වල ගමට පැමිණියහ. බැමිණිය අත් බලා ශාස්‌ත්‍ර කී අතර බමුණා වෙනත් නක්‌ෂත්‍ර කටයුතු කෙළේය.

බමුණා ගෙනැ බෝ පැළය එහි එක්‌තරා ස්‌ථානයක නියරක්‌ උඩ තබා ඒ අසල දින කීපයක්‌ ගත කළහ. දවස්‌ කීපයකට පසු දෙමහල්ලෝ ඒ පෙදෙස හැර වෙනත් ගමකට යන්නට කල්පනා කර බෝ පැළය ගන්නට ගිය කළ එය බිමට මුල් අල්ලා තිබෙන බව දුටුවෝය.

බමුණා බෝ පැළය එසේ තිබෙන්නට හැර එය දඹදිව සිරිමා බෝසමිඳුන්ගේ පැළයක්‌ බවත් යම් තැනක ඒ බෝ පැළය මුල් අල්ලා පැළවුනොත් තමා ඒ පෙදෙස හැර වෙන අතක නොයන බවත් කියා බෝ පැළයේ සංවර්ධනයටත් පුදසත්කාර කිරීමටත් එහිම රැදී සිටීමේ යුතුකම කීවේය.

දඹදිව සිරිමහ බෝධියෙන් පැළයක්‌ ගෙනත් තම ගමේ රෝපණය කිරීමෙන් ගමට ශාන්තියක්‌ කළ ඒ බමුණු දෙමහල්ලන් ගැන අතිශය ප්‍රසාදයට පත් ගම්වැසියෝ බමුණාට නැවතීමට ඒ අසල ඉඩමක කුඩා ගෙයක්‌ සාදවා දුන්හ. එතැන් සිට බමුණු යුවළ ද ගම්වැසියන් සමඟ එකතු වී ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වෙමින් කලක්‌ විසුවෝය. ගොවියෝ හේන් ගොවිතැනට යන කාලයේ ඔවුහූ බමුණාට ද ගොවිතැන් කරනු පිණිස ඉඩම් කොටසක්‌ වෙන්කර දුන්නෝය.

බමුණා තමාගේ හේන් වල් කොටාගෙන යන අතර අව්වේ සිටීමත් තෙහෙට්‌ටුවීමත් බරවැඩ කර පුරුද්දක්‌ නැති නිසාත් කලන්තයක්‌ සෑදී බිම ඇද වැටුණේය. ටික වේලාවකින් බමුණාගේ කොටසේ බිම් කෙටීමේ සද්දයක්‌ නැති නිසා අනික්‌ ගොවියෝ බමුණා ගැන සොයා බැලුවෝය.

හේනේ බිම වැතිරී සිටි බමුණා දුටු ඔවුහු වහාම ළඟට ගොස්‌ බමුණා නැගිටුවා ඔහුට කුමක්‌ වුණාදැයි බැලූහ. උදැල්ලට කැපී ගිය ගසක මුලකින් ලේ ගලායන බවද ගොවියෝ දුටූහ. මිනිස්‌සු බමුණා නැඟිටුවා සෙවනකට ගෙන ගොස්‌ තබා වතුර පොවා පවන්සලා සිහිය ආ කල ඔහුට කුමක්‌ උනේදැයි විචාළහ.

එවිට බමුණා කතා කරමින් ගසක මුලක්‌ කැපී ලේ ගලන්නට වූ බවත් ඒ ලේ දැක තමාට සිහිසන් නැතිවූ බවත් කීවේය. ඔහුට සිහිය නැතුව වැටී සිටි අවස්‌ථාවේ ඒ ගසට අධිගෘහිත දේවතාවා සිහිනෙන් පෙනී උදගස්‌ වැදෑරූ බවත් වැඩිදුරටත් කීය. ඒ දේව උදහසින් මිදීම පිණිස අදම දවල් කෑමට ගෙනෙන ආහාරයෙන් දේවතාවාට කනලාකාරිය කර මුළුතැන් පූජාව පැවැත්විය යුතු බව ද කීවේය.

ගොවියෝ ද ඊට එකඟ වූහ. ගොවි මහගෙලා දවල් ආහාරය පෙට්‌ටි මලුවල දමා ගෙන ආහ. බමුණා තටුවක්‌ පිළියෙල කෙළේය. එකෙක්‌ පහන් වැටී 9 ක්‌ අඹරා ගත්තේය. එහි තෙල් නොවීය. දේව බලයක්‌ ඇත්නම් මේ ලේ තෙල් මෙන් දැල් වේවායි අදිටන් කරගෙන ගස කැපුණු තැනින් ගලාගිය (රතු පාට යුෂ) ලෙයින් පාන් වැටි තෙමා පත්තු කලේය.

ඒ පාන්වැටි තෙලෙහි බහා ගත්තාක්‌ මෙන් දැල්වෙන්නට විය. ඒ දුටු ගොවියෝ දේව බලය ගැන තව තවත් බයෙන් හා ගෞරව භක්‌තියෙන් දේව පූජාව පටන් ගත්තෝය. බෙර දවුල් දඩුබෙර ද හොරණෑ වෙනුවට පත්නළා ද පිඹ කනලාකාරිය කොට පූජාව සම්පූර්ණ කළහ. බමුණා මුළුතැන් වැඩීම කෙළේය.

එවක්‌ පටන් එහි දේවපූජාව වර්ෂයක්‌ පාසා පවත්වන්නට වූහ. කනලාකාරිය, කෙම්මුර ආදී තේවා පැවැත්වීම නොකඩවා කරගෙන ගියේය. මේ අතර බමුණා එහි ප්‍රධාන කපුරාළ වූයේය. මෙසේ කලක්‌ ගතවන කල්හී බමුණා මළේ ය. මහ කපුරාළ හැටියට හිටි බමුණා මියයාමෙන් පසු ඔහු දේවතාවකු මෙන් ඉපිද සිටින බව පළාතේ පතළ වී ගියේ නිකම්ම නොවේ.

හිසේ සුදු ජටාවක්‌ බැඳගත් මහ කපුරාළ රෑ ජාමෙට දේවාලයට ඇවිත් තුන් වරක්‌ දේවාලය වටා ඇවිද ඒ අසල පිහිටි නුගේට යනු දුටු බව ගොවියෝ කීප දෙනෙක්‌ම කීය. සමහරු අවේලාවට දේවාලය පැත්තේ යාමට පවා බිය වූහ.

කපුරාළ දේවතාවකු වී ඉපිද සිටින බව පතළ වීම නිසා දේවාලයේ කෙම්මුර පුදපූජා ආදී කටයුතු ද අධික විය. දොඩම්වල දේවාලය දැන් අනුහස්‌ ඇති ප්‍රසිද්ධ ස්‌ථානයකි. මෙසේ පවත්නා කළ රාජසිංහ රජ්ජුරුවෝ එක්‌ දවසක්‌ කුණමක නැගී ඒ අසලින් ගමන් කළහ. මේ ළඟ ආනුභාව සම්පන්න දේවාලයක්‌ ඇති බව දැන දැනත් කුණමෙන් නොබැස ම යන්ට ගියහ.

ටික දුරක්‌ යනවිට රජුගේ කුණම දෙකට කැඩුණේය. රජතුමා දේවාලයට වැඩ කපුවා කැඳවා දෙවියන්ගේ ආනුභාවයක්‌ ඇත්නම් කුණම සන්ධිකරවයි කීවේය. කපුරාළ කුනම් කෑලි දෙක එකට තබා දෙවියන්ට කන්නලව් කිරීමට පටන් ගත්තේය. පසුව බලන කළ බිඳුම පෑස්‌සී තිබුණේය.

ඒ ආශ්චර්යය දුටු රජතුමා දේවාලයේ හාස්‌කම් ගැන අතිශයින් පැහැද කපුවාට දෙවියන් ආවේශ කරවාගෙන පේනයක්‌ කියන ලෙස නියම කෙළේය. දේව මායමින් චලිතවූ කපුවා මෙසේ කියන්නටවනි. " මේ දේවාලය එසේ මෙසේ තැනක්‌ නොවේ. හැටපස්‌ කට්‌ටුවක්‌ නර දෙවිවරු මෙහි ඉපදී දේවාලයට අරක්‌ගෙන සිටිති.

මෙහි අන්තිමට දෙවි කෙනෙක්‌ව ඉපිද සිටින්නේ රාසිංදේවි මහාරාජෝත්තමයාණන් වහන්ස්‌ගේ පිය රජාණන් වූ සෙනරත් නර දේවාතාවුන් වහන්සේය. උන්වහන්සේ පරිභොග කළ භද්‍ර පීටය තවමත් මාළිගයේ ඇත. එය ද මෙහි ගෙනවිත් තැබිය යුතුය.

එසේ කළ මේ නර දෙවි රජුගෙන් ඔබට සතුරන් පරාජය කර විජයග්‍රහණය කරන ආකාරය කරුණා දිවැස්‌ එළියෙන් සැළකර සිටින්නේ " යැයි කීවේය. ආවේශ වූ කපුවා මෙසේ කී කළ රාජසිංහ රජතුමා දේවාලයේ කටුකොහොල් හරවා එය අලුත් කර සාදන්නට නියම කෙළේය. රජතුමා මාළිගයට ගිය කළ පිය රජතුමා පරිභෝග කළ පුටුව පෙරළී තිබෙනවා දැක පුදුම වී එය ද දේවාලයට පුද කෙළේය.දේවාලයේ සියලුම දේව තේවාවට වැඩවසම් සහිතව නිල විධාන කළහ. හැටපස්‌ අමුණක්‌ ගොඩින් මඩින් පරිත්‍යාග කෙළේය.

රාසිං දෙවියන්ගේ අපවත්වීමෙන් පසු එතුමාගේ ජය කොන්තය ද පුටුව ද මේ දේවාලයට දී ඇත්තේය. මෙහි වර්ෂයක්‌ පාසා කරන පෙරහැරේදී ජයකොන්තය ඇතා පිටන් වඩම්මවති. දොඩම්වල වෙලේ බමුණා හිටෙව් බෝ ගස පිහිටියේ ද මේ අසලය.

(c) Shilpa Sayura Foundation 2006-2017