ගජබා රජු ස්‌ත්‍රීපුරය ඇල්ලූ හැටි
 

එක්‌ දවසක්‌ ගජබාහු රජතුමා ඇමැති ගණයා අමතා තමා සමඟ මල්ලව පොරයක්‌ අල්ලා ජයගන්නට සමත් වීර රජකු ඇත්නම් එන ලෙස දඹදිව පුරා හසුන්පත් යවන ලෙස අණ කළහ. ඒ අතර ලක්‌දිව තමා සමඟ ද්වන්ද යුද්ධයක්‌ කර ජයගන්නට සමත් සෙබළෙකු හෝ වීර පුරුෂයකු හෝ ඇත්නම් ඉදිරියට එන මෙන් ද රට පුරා අණ බෙර ලැව්වේය.

ගජබා රජුගේ සුරවිරුකම් ගැන ලක්‌දිව හා දඹඳිව ද පතළවී ගියේය. මේ පුවත ඇසූ දඹඳිව මාලව දේශයෙහි ප්‍රසිද්ධ එක්‌ බලවත් යෝධ පුරුෂයෙක්‌ මහත් අභිමාන උපදවා "මම ලංකාවේ සිංහල අලියා සමඟ සටන්කර ජයගන්නේමැ"යි වහසි බස්‌ බැණ නැවක නැගී ලක්‌දිව බලා පැමිණ හලාවතින් ගොඩ බැස්‌සේය. යෝධයාගේ
ගොඩබැසීම ඇසූ ඇමැතියෝ රජුට සැල කළහ.

මාලව යෝධයා රජ වාසලට පැමිණියේය. රජතුමා ඔහු පිළිගෙන පිළිසඳර කතා කොට මල්ලව සටනට දින නියම කර ගත්තේය. ඇමතිවරු නියමිත දිනට මල්ලව පොර ගන්නා අකවළුව සිසාරා සැරසුවෝය. නියමිත දින ඒකී වේලාවට යෝධයා පොර පිටියට පිවිසියේය. රජතුමාද පොර මඩුල්ලට බැස්‌සේය. යෝධයා ද සැරසී සිටගත. රජූ යොධයා වෙතට ගොස්‌ ඔහුගේ ඇලපතකින් සිට යෝධයාගේ අත්දෙක එක්‌ අතකින් තරයේ අල්ලා ගෙන එක්‌ පයකින් ඔහූගේ දෙපා පොළොවට තදකොට අනික්‌ පයින් හිසට වැරෙන් පහරක්‌ දුන්නේය.

ඒ පහරින් යෝධයාගේ හිස ගෙලෙන් ගැලවී ගොස්‌ අසූරියනක්‌ දුර වැටුනේය. මේ අසිරිමත් වීරක්‍රියාව දුටු රැස්‌ව සිටි සමූහයා මහත් සේ ඔල්වරසන් දුන්නේය. පිළිහිස සිසාරා නැටූහ. රජතුමා මහ පෙරහරින් මාළිගයට වඩමවා ගොස්‌ සතියක්‌ පුරා උත්සව පැවැත්වූහ. ඉන්පසු වැසියෝ රැස්‌ව "දේවයන්වහන්ස, ඔබවහන්සේට සමවන වීරවික්‍රමාන්විත පුරුෂ සිංහලයෙක්‌ මේ සිරිලක නැතැ" යි කීහ.

මෙරට ස්‌ත්‍රීපුරේ වාසය කරන පුරුෂයන් මරාදමන කන්‍යා ස්‌ත්‍රීන් විසින් ද ඒ බව කියන ලද්දේය. එබැවින් ඔබ වහන්සේ එහි වැඩිය මැනවැයි අයැද සිටියහ. රජු එය පිහිටියේ කොතන දැයි ඇසුවේය.

ස්‌ත්‍රීපුරය සතර කෝරළේ බල්ලාපාන නම් ගමට නුදුරු තැන යට්‌ටෝගොඩ නමින් ගමක්‌ ඇත. එහි පැරණි පත්තිනි දේවාලයක්‌ අසල පිහිටි කන්දේ මුදුනෙහි විශාල ගල්ගුහාවක්‌ වෙයි. මේකී ස්‌ත්‍රීපුරය පිහිටියේ එම ගල්ගුහාව තුළය. ඉක්‌බිති රජතුමා නීලමහයෝධයා ද කැඳවාගෙන ගල්ගුහාව කරා ගියහ. රජතුමා දුටු සුරතයෙහි අභිලාෂිවු ඒ නවයොවුන් කාමිනියෝ අතිශය සතුටට පත්වූවෝ වහවහා සුදු පටපිළි ඇඳ වරලස මල් ගවසා ගෙලෙහි මුතුමාල බැඳ අත් පා වල වළලුදමා අප්සරාවන් සේ සැරසී සිටගත්තෝය.

සුවඳ පැන් සුවඳ සුනු ඇඟ ආලේප කර සිහින් පටපිළියෙන් ඔප දමා ළැම පෙදෙස සරසා ගත්හ. මෙසේ නොයෙක්‌ ස්‌ත්‍රීන් ආභරණයෙන් සැරසුණු පන්සියයක්‌ පමණ ලලනාවෝ නටමින් ගී කියමින් රජු වෙත එළඹ සිසාරා සිටගත්හ. දිලිසෙන පහන් සිළු සේ ලෙලදුන් ඒ ලඳුන්ගේ රූ සපුවටත් මිහිරි ගීතයටත් වසී වු රජතුමා ටික වේලාවක්‌ ඔවුන් මැදට වී පිළිසඳර කතාවෙහි යෙදී සිටියහ.

ඒ ස්‌ත්‍රීන්ගේ මායාවලින් කාමපාශයෙහි අසුවෙතැයි බියක්‌ සැකක්‌ නූපදවා සිටි රජු තමා පැමිණි අදහස සැළකෙලේය. අනතුරුව රජතුමා මේ පන්සියයක්‌ මාගමුන්ගේ කෙස්‌වැටි එක්‌ අතකින් තරයේ අල්වාගෙන "තොපි සියල්ලෝම එක කඩුපහරින් මරාදමන්නෙමැ"යි මහ හඩින් ගුඟුරා ස්‌ත්‍රීන් බියට පත් කළේය.

"දේවයන්වහන්ස, අහිංසක නිරපරාධී අපට අනුකම්පා කළ මැනව. මෙතෙක්‌ පිරිමි ලකුණකුදු නුදුටු ඔබගේ දැකීම පවා අපට මහත් සම්පතෙකි. ඔබගේ රළු වචන පවා ඇසීම අපේ කන්වලට මී පැණි සේ මිහිරිය. ඔබේ රුචිලස්‌ දැකීම සැනසිල්ලෙකි. ඔබගේ සුවපහස්‌ ලැබීමෙන් අපේ කාමඩාහය නිවී යන්නේය.

අපෙන් ඔබට සැපතක්‌ මිස දූකෙක්‌ නොවන්නේය. මෙ බඳු හුදකලාවු ස්‌ථානයක සුරඟනන් බදු අප වැනි ස්‌ත්‍රීන් හා සතුටු නොවී නොයනු මැනවැ"යි රජුට එහි නවතින සේ කන්නලව් කළාහුය. ඒ ස්‌ත්‍රීහු මෙසේ ලද බොළඳ තෙපුල් පවසමින් රජුගේ ආලිංගනයෙන් තුමුම ඉවත් වූහ.

මේ දුටු රජතුමා තොප හැමට මා වැනි පුරුෂයන් සොයා ගැනීම උගහට යයි කියා සත් දවසක්‌ ඒ ස්‌ත්‍රීපුරේ කාමිනීන් සමඟ පස්‌කම් සුවෙහි ඇලී වාසය කෙළේය. සත්වෙනි දින රජතුමා එතැනින් ඉවත්ව යාමට සූදානම් වූ කළ එක්‌ තරුණ ලලනාවක්‌ රජු කැටුව යාමට අභිලාෂයක්‌ පෙන්වූවාය.

එවිට ස්‌ත්‍රීපුරේ කාන්තාවන් පිරිමින් සොයා පිටත යාමට පුරුදුවීමත් රටවාසි පිරිමින් ස්‌ත්‍රීපුරේ කාන්තාවන් සොයා ඒ මට පුරුදූවීමත් මහත් නපුරැයි කල්පනා කොට ගල්ගුහාව වදනා දොරටුව සදහටම වසා දැම්මෙව්වේය.

(c) Shilpa Sayura Foundation 2006-2017