බැලුම් ගල
 

කළුතර දිස්‌ත්‍රික්‌කයෙහි නැගෙනහිර පස්‌යොදූන් කෝරළයට අයත් වරකාගොඩ පියසෙහි උස්‌වූ විශාල පර්වතයක්‌ ඇත. ඒ පව්ව පාමුල ගල්ලෙන රජමහවිහාරය නමින් ප්‍රසිද්ධ පුරාණ රජමහා විහාරයක්‌ පිහිටා ඇත. උපචාර වශයෙන් බැලුම්ගල පිහිටි හරියට ද ගල්ලෙන කන්ද යයි කියති. මෙයට සැතපුම් එකහමාරකට පමණ ඈතින් ගණේඋඩ විහාරය නමින් ප්‍රසිද්ධ තවත් සිද්ධස්‌ථානයක්‌ පිහිටා ඇත.

මේ කියන ලද ගණේඋඩ පෙදෙසෙහි සියවස්‌ කිහිපයකට පෙර සිංහල රජ පවුලක්‌ වාසය කෙළේය. එක්‌ කලෙක මෙහි කුමාරවරු හත් දෙනෙක්‌ හා ඔවුන්ගේ පෙම්වතියන් හත් දෙනෙකුත් ඉතා සමඟි සම්පන්නව ප්‍රීතියෙන් වාසය කරන කාලයෙහි මෙරට ආක්‍රමණය කළ දෙමළ හමුදාවක්‌ හා සටනකට මුහුණ පාන්නට සිදුවිය. කුමාරවරු යුද හමුදා සූදානම්කර සටනට සැරසුණාහ.

සිය පෙම්බර කුමාරවරු සටනට යාම කුමාරියන් හත් දෙනාට නොඉවසිය හැකි දුකක්‌ වූයෙන් ඔවුහූ හඩා වැළපුණාහ. තුමූ වැඩිකල් නොගොස්‌ ම සතුරන් නසා ජයකෙහෙලි බැඳ ආපසු එන බව කියා බිසෝවරුන් සනසා සටනට පිටත්වූහ. යම්හෙයකින් අපට පරාජය අත්වුවහොත් කළු කොඩි ඔසවා දැනගන්නට සලස්‌වන බවත් ඒ ලකුණෙන් ඔබ හැම දිවි ගලවාගෙන උවදුරු රහිත පෙදෙසකට පලා යා යුතු බවත් වැඩිදුරටත් දැන්නුවෝය.

දෙමළ හමුදා යුද කඳවුරු බැදගෙන සිටියේ රෙමුණ නම් ප්‍රදේශයකය. හැඩිදෙමළ කන්ද යයි ප්‍රසිද්ධ කඳුගැටයක්‌ උඩය. සිංහල සේනාවෝ සිංහවික්‍රම පා කඩුදුනුතොමරාදී අවි රැගෙන පෙරට තැබූ අඩිය පස්‌සට නොගෙන චණ්‌ඩ දමිළයන් පොලු ගාසාගෙන ඉදිරියටම ගියෝය. මහ කුණාටුවකට අසුවූ කෙසෙල් කොටුවක්‌ ඉදිරී වැටෙන්නාක්‌ මෙන් සතුරු බලඇණිය වැටීගෙන වැටීගෙන ගියේය.

ඒ දුටු දෙමළ සෙන්පතියා කන්දෙන් පාමුලට පැන දිවි නසා ගත්තේය. අනතුරුව සිංහල සේනා හැඩිදෙමල කොටුව වටලා බිහිසුණු සටනකට වන්හ. ද්‍රවිඩයන් හිස්‌ ලූ ලූ අත පලාගියහ. සිංහලයන්ගේ ගෙවල් දොරවල් කොල්ලකා දෙමළ සෙබළුන් විසින් එම කොටුව තුළ රැස්‌කරගෙන තිබුණු විශාල ධනස්‌කන්ධය සිංහලයෝ යළිත් අල්ලාගත්හ. මේ ජයග්‍රහණයෙන් පසු දෙමළ සේනා සමූලඝාතනයෙන් ඔද වැඩී ගිය සිංහල කුමාරවරු සහ සේනාවත් ආපසු සියදෙස බලා පිටත් වූවෝය.

මෙසේ ආපසු එන කුමාරවරු සිය කුමරියන් රැවටීමට විහිළුවක්‌ කිරීමට සිතා කළුකොඩි එසෙව්වෝය. බැලුන්ගල මත සිට සිය පෙම්වතුන් දෙස ඇසිපිය නොමරා බලා උන් ඒ කුමරියෝ මේ විහිළුව නොදැන සිය කුමාරයන් පරාජය වී ඇතැයි සිතා ගල්කුලෙන් පැන දිවි හානිකර ගත්තෝය. තමන් කළ විහිළුවේ භයානක ප්‍රතිපලය දුටුවේ ඔවුන් රජමාලිගයට ඒමෙන් පසුවය.

ශෝකාන්ධරයේ නිමග්න වූ රාජ කුමාරවරු රජමැදුරේ සේවකයන්ගෙන් සිදුවූ සියල්ල සා වහාම බැලුම්ගල මුදුනට නැගී බැලුවෝය. ගල්කුල පාවුල විසිරී ගිය මෘත ශරීර දුටු ඔවුහූ ශෝකයෙන් විසඥව ගියෝය. පසුව සිහිසන් ලත් කුමාරවරු ශෝකය
දරාගත නොහී තුමූද සිය ජීවිත පුෂ්පයන්ගෙන් ආදරවන්තියන් පිදුවෝය ප්‍රේමාවඩන ජීවිත තුදුසකින් පූජාලැබූ මේ ගල එතැන් සිට බැලුන්ගල යන නමින් පතළ වූයේය. බැලුන්ගල මතට නැග්ග කල ඒ අවට පෙනෙන සවභාවික සෞන්දර්ය ඉතා පියකරුය. දුර බැහැර පළාත්වල ජනයාද මේ ස්‌ථානය නැරඹීමට එති.

(c) Shilpa Sayura Foundation 2006-2017