විපුල ගුණැති මහතුන්හට පත් විපත
නිසල නැණින් යුතු උතුමෝම දුර ලත
කලල ගිලුණු මත වරණිදු ගොඩ ගනුත
තුමුල බලැති ගිජිදෙකු මිස අන් කෙවන
කුලුණු ගුණින් යුතු උතුමන් සිත මහරු
දුදන බසින් නොයෙදෙයි කරනට නපුරු
නව රුවනින් පිරි මහ සමුදුර ගැඹුරු
තණ සුළකින් උණු කළ හැකි වෙති කවුරු
සුර තුර වන් උතුමෙකු දෙන දනින් මිස
යදි කලිමන් කෙසෙ දුරු වෙද මුලින් පිස
මහ මෙයකින් පහ වන ගතෙහි සරතස
පිණි බිඳකින් වැළකිය හැකි වෙද කෙලෙස
දිය නෙත උදාවන සිය කිරණින් මහරු
මෙ දියත දිවා බිහි දුරු වෙයි ගත අඳුරු
සිරිමත රජතුමෙකු දුටු පමණින් සොඳුරු
ඇතුළත පිටත දිව රෑ හැරෙය දුක'දුරු
කුලුණින් ගුණින් නුවණින් පසිඳු සැම තැන
සුදනන් සෙවුන නිරිදෝ ලෙව් සත රකින
දෙහිරුන් මලින් රොන් ගෙන යන මෙන් සෙමින
නියමින් අය ගනිති සත සිත නොතළ මින
අම යුත් රස අහර වත් වඩවන ඔදස
කුස ගත් ගිනි නිවන පමණට බුදින ලෙස
තෙද කින් පතළ නිරිඳෝ නොමඳ දන රැස
නොකෙරෙන් ලොව සතුන් රකිනා විතර මිස
පැණසර නොවන නිරිඳුන් ලද රජ සැපත
ගොරතර නිරා දුකටත් වැඩියෙන් විපත
තිරසර නැණැති නරවර ලද එම සැපත
සුරපුර සැපතටත් සිය ගුණෙනි යහපත
බැලුමින් සිහි කිරීමෙන් පහසින් නිතින
සසුනත් රකින මින් කුමු සියොතුන් ලෙසින
කුලුණින් ගුණ නැණින් යුතු උතුමෝ සොබන
වෙසෙසින් ලොව සතන් රැක පවතින් යෙහෙන
සමවත වැසි සුළඟ කෙත් වත් වැවෙන මෙන
ලොවසත රැකෙති නිසි රජ නැණැති මැතිහෙන
එමහත නල නලින් වන දහන වන මෙන
දුසිරිත රජ කුමැතිගෙන් නසිය හැම තැන
නුවණැත් තවුන් පහකොට දුදනන් සෙවුන
නොමගත් සිත තුළෙහි ගුණ පොකුරඹ ලෙසින
මැදහත් නොව මසුරු ගුණයෙන් දවස'රින
රජුටත් එරටටත් අතුරක් නැත වෙනින