මෙ අප බෝසත් සඳ
සමගින් කිඳුරු ලඳ
කියමි පෙරකළ සිරිත මනනඳ
මේ දඹදිව් තලේ
නැති රුව දැකම එක ලේ
සඳ කිඳුරු යසලේ
විදම මරමැයි සිතිය එක ලේ
හිමව් ගිරි අරනේ
ඉපිද සිටිකළ දෙදෙනේ
කිඳුරඟන ලොබිනේ
අසන් විඳ මැරූ සැටිය ඉතිනේ
මහ බෝසත් පවර
බඹදත් නිරිඳු විඳි වර
කිඳුරඟන මනහර
අයැද තෙදයුත් සුරන් එමවර
එහිම යුද කරවා
නොමද දුක් ගෙන් රඳවා
දළ පෙම් උපදවා
විසූ කම් රස නොමද විසුවා
එබව මෙහි පළ කොට
දුටු දන සිත් සතුටු කොට
කිවි රඟ දෙන ලෙසට
කිඳුරු දෙදෙනෙක් වඩිති සබයට
සිරිදැල් රන්ගිරි සුපිහිටි අග හිමව් පියස
පෙරකල් අපෙ බෝසත කිඳුරුව ඉපදී සඳගිරි අස
මන කල් කිඳුරඟන සමඟ එකල් පැවති සිරිත විලස
සුවිසල් වන ගැබ හැම තැන දිනිදා නද දෙමින් සතොස
නෙලමින් ගෙණ තලිස් පතුරු බුදිමින් තුවරල සමගින
හිඳිමින් ගෙන සඳුන් අරටු ගලගා අමු කපුරු ලමින
යොදමින් ගෙණ තවරා ගත කුසුමෙන් කළ බරණ ලමින
මෙලෙසින් සුර පුරඟන ලෙස රඟදෙන සඳකිඳුරු දෙදෙන
දොඹමල් නෙලමින් ගෙන පිපි විලසින් ගොතමින් යස සින
ගිරි නිල් කුසුමෙන් කළ පට බබලන මිනිදුල් විලසින
මනකල් වස කුල්ලක් ගෙන පිඹිමින් නඳ හමන ලෙසින
සුවිසල් වන ගැබ හැම තැන ගොස කරනා සඳ මෙලෙසින
දවසෙක කිඳුරඟන සමඟ බෝසත් සඳ පව්වෙන් බැස
නොවසැක බිසවුන් කුසුමින් සරසා දෙවඟනක විලස
විගසක මල් කුල්ලක් දී බිසවුන් සුරතට නිසි ලෙස
කිවසක යුරු කිඳුරඟනට රඟ නද දෙන ලෙසට සතොස