උඩරට පාලනය හා රාජ සභාව
 

මහනුවර රාජධානියේ දේශපාලන - ආර්ථික - සමාජයීය හා සංස්‌කෘතික තොරතුරු

රාජ්‍ය පාලනය
උඩරට සම්මත නීතිය අනුව රජු බෞද්ධයෙකු විය යුතුය. බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය සඳහා ක්‍රියා කිරීම ඔහුගේ පරම යුතුකම විය.

පාලනයේ ප්‍රධානියා රජු විය. රටේ සියලුම ඉඩම් රජු සතුවිය. යුද්ධය හා සාමය පිළිබඳ තීරණ ගැනීම සහ රටේ ඉහළම අධිකරණය ලෙස ක්‍රියා කිරීම රජුගේ කාර්යය විය.

මෙකල රජු උරුමය පිළිබඳ සම්මත නීතිය වූයේ සහෝදරයාගෙන් සහෝදරයාට රජකම උරුම වීමය. එ‍සේ වූවත් මෙය ක්‍රියාත්මක වුයේ අවස්‌ථා කීපයකඳී පමණි. පියාගෙන් පුතාට රජකම උරුමවීම, වෙනත් පුද්ගලයෙක්‌ රජකම ලබා ගැනීම සහ රජුගේ බිසවගේ සහෝදරයාට රජකම ලැබීම ද මෙකල සිදුවිය.

අධිකරණයේ පරමාධිපත්‍යය රජු සතුවිය. රදළවරුන්ට හා සංඝයා වහන්සේලාට විරුද්ධව ප්‍රධාන පෙළේ නඩු විභාග කිරීම හා දඬුවම් පැමිණවීම රජුගේ කාර්යයක්‌ විය.


මහ අධිකරණය "මහනඩුව" නමින් හැඳින්විණි. එහි සභාපති මහ අධිකාරම්ය. ඉංග්‍රිසි සිවිල් නිලධාරියෙකු වූ ජෝන් ඩොයිල් රජුගේ බලය පිළිබඳව මෙසේ සඳහන් කර ඇත.

 

 

 


"රජුගේ බලය අසීමිතය. අමාත්‍යවරු උපදෙස් දෙති. එහෙත් ඔවුන්ට රජුගේ බලය පාලනය කළ නොහැකිය. වැදගත් නීති රීති ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රධාන නිලධාරීන් (නිලමේවරු) සමඟ සාකච්ඡා කිරීම රජුගේ සිරිතකි. නායක භික්‌ෂුන් සමගද නිතර නිතර සාකච්ඡා කරනු ලැබේ. උඩරට රාජ්‍යයේ අණපනත් එහි චාරිත්‍රවලට හා නීති වලට අනුකූල යයි සැලකේ." - ඩොයිලිගේ දින සටහන්.


 

රාජ සභාව
රජු විසින් පත්කර ගන්නා ලද නිලධාරින්ගෙන් රාජසභාව සමන්විත විය. රාජ සභාවේ උපදෙස්‌ රජුට ලැබුණි. ආරක්‌ෂක කටයුතු, භාණ්‌ඩාගාර කටයුතු, යුද්ධ කටයුතු, පොදු කටයුතු භාර නිලධාරන් හා රජ වාසලට අවශ්‍ය සේවා සැපයූ නිලධාරීන්ද රාජ සභාවට ඇතුළත් විය.

රාජ සභාවේ රජු ළඟට වැදගත් වු නිලධාරියා මහ අධිකාරම්ය. ඔහු රජුගේ ප්‍රධාන උපදේශකයා වූ අතර රජුගේ මරණින් පසු ඊළඟ පාලකයා තෝරන මහා සභාවේ ප්‍රධානියා වූයේ ද මහ අධිකාරම්ය.

මහා අධීකාරම්වරුන් ප්‍රබල වූ විට නිලයන්ට අමතරව රජ මාලිගාවට සම්බන්ධ නිලතලද පවරා ගත් අවස්‌ථා ඇත. පිළිමතලාවේ, මහ අධිකාරම් ධුරයට අමතරව දියවඩන නිළමේ තනතුර හා තවත් නිලතල කීපයක්‌ද දරා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017