නායක්‌කාර වංශිකයෙක් වූ ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා ක්‍රි. ව. 1798 - 1815 කාලයේ රජකළ අතර ශ්‍රී ලංකාවේ අවසාන රජතුමාය. ඔහුගේ මුල් නම කන්නසාමි විය. රාජාධි රාජසිංහ රජුගෙන් පසු සිහසුන උරුම වූයේ මුත්තුසාමි ටය. පිළිමතලාවේ මහාධිකාරම් තුමාගේ උපකාරයෙන් කන්නසාමි රජකම ලබා ගත්තේ ය.
මුහුදුබඩ ප්‍රදේශයේ ජීවත් වූ වැසියන් තමාගේ රජු ලෙස උඩරට රජුට දැක්‌වූ පක්‌ෂපාතීත්වය නිසා උඩරට තමාට අවනත රාජ්‍යයක් කර ගැනීමට පෙඩ්‍රික් නෝර්ත් ආණ්‌ඩුකරුට අවශ්‍ය විය.
උඩරට ප්‍රධාන අධිකාරම වූ පිළිමතලාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෙරෙහි කලකිරීමට පත්විය. ඊට හේතුව වූයේ රජු තමාගේ කීමට වඩා නායක්‌කාර වංශිකයන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමට පෙළඹී සිටීමයි. රජු මෙල්ල කර ගැනීම සඳහා පිළිමතලාවේ ඉංශ්‍රීසින්ගේ ආධාර පැතීය. ශ්‍රි වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහකොට උඩරට රජකම ලබා ගැනීමට තමාට සහාය දෙන ලෙස පිළිමතලාවේ ඉංග්‍රීසින්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් නෝර්ත් ආණ්‌ඩුකාරයාගෙන් එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි.
ඒ නිසා ඉංග්‍රීසීන් හා උඩරට රාජ්‍ය බලය අතර යුද්ධයක් ඇතිකොට ඉංග්‍රීසින් ලවා රජු බලයෙන් පහකොට උඩරට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා පිළිමතලාවේ උපක්‍රමයක් යෙදැවේය. ඉංග්‍රීසි යටත් ප්‍රදේශයක සිට උඩරට ප්‍රදේශයට වෙළඳාම සඳහා පැමිණි වෙළඳ කණ්‌ඩායමකට හිරුහැර කිරීම මගින් මේ අවස්‌ථාව උදාකර ගැනීමට පිළිමතලාවේට හැකි විය. 1803 දී සෙන්පති මැක්‌ඩොවල්ගේ නායකත්වයෙන් ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කළේ ඉහත කී සිද්ධිය නිසාය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හඟුරන්කෙතට පැන ගියේය. ඉංග්‍රීසින් වෙත ආරක්‌ෂාව ලබමින් සිටි මුත්තුසාමිට උඩරට රජකම ලබාදැන් ඉංග්‍රීසි හමුදාව ඔහු සමඟ ගිවිසුමකට එළඹුණි. එහෙත් කන්ද උඩරට ජනතාව මුත්තුසාමිගේ නායකත්වය එකහෙලා ප්‍රතික්‌ෂේප කළ අතර ඉංග්‍රිසි හමුදාවට දැඩි ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ.
ඉංග්‍රීසි හමුදාවට මහත් විනාශයක් ද සිදුවිය. මුත්තුසාමි පලා ගියේය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නැවත මහනුවරට පැමිණියේ
ය. මෙම ආක්‍රමණයෙන් පසු පිළිමතලාවේ අධිකාරම සහ ඉංග්‍රීසින් අතර වූ මිත්‍රත්වය පලුදු විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙළඳ කණ්‌ඩායමකට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළිමතලාවේ කෙරෙහි සැකයක් ඇති කර ගත්තේ ය. උඩරට රදළ ප්‍රධානීන් අතර ගැටුම් සහ භේද ඇතිවන අයුරින් කටයුතු කිරීම ද ආරම්භ කළේ ය.
1810 දී පිළිමතලාවේ මහ අධිකාරම් ධූරයෙන් පහකොට ඔහුගේ බෑණා කෙනෙකු වූ ඇහැලේපොළ නිළමේ එම තනතුරට පත් කළේ ය. ඉන් කෝපයට පත් පිළිමතලාවේ රජු මරා දැමීමට උපක්‍රමයක් යෙදී. එය අසාර්ථක වූ අතර කුමන්ත්‍රණය රජුට හෙළිවිය. පිළිමතලාවේට මරණ දඬුවම නියම විය.
මේ කාලය වන විට රජු දැඩි ලෙමස මත්පැනට ඇබ්බැහි ව සිටි බවට සාක්‌ෂි ඇත. රජුගේ ක්‍රියා කලාපය නිසා සාමාන්‍ය ජනතාව ද කළකිරීමට පත්විය. වැඩිකල් නොගොස් ඇහැලේපොළ නිළමේද රජුගේ සැකයට භාජන විය. 1814 දී සබරගමුවේ රජුට විරුද්ධව ඇති වූ කැරැල්ලට වගකිව යුත්තා ඇහැලේපොළ නිළමේ බව දැනගත් රජු වහාම තමා හමුවමට එන ලෙස දන්වා යැවීය.
ඇහැලේපොළ එම නියෝගයට පිටුපා ඉංග්‍රීසීන් වෙත පලා ගියේය. ඊට වන්දි ලෙස රජු විසින් ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරු පවුල අමානුෂික ලෙස ඝාතනය කර දැමීය. මෙම නිරශ්චීන දඬුවම දීම සඳහා රජු තෝරා ගත්තේ අතිශයින්ම ශූද්ධ භූමියක් වූ නාථ දේවාලය අසල පිහිටි දේව සංහිඳ නම් ස්‌ථානයයි. මේ නිසා රජුට ඉතා හිතවත්ව සිටි පිරිස පවා රජු අතහැර දැමීය. රජු තනිවිය. ඒ සමගම උඩරට ස්‌ථාවර පදනම දෙදරා ගියේය.
1815 වර්ෂයේ ජනවාරි මාසයේදී ඇහැලේපොළ පෙරටු කොටගත් ඉංග්‍රිසින් උඩරට ආක්‍රමණය කළ අතර රජතුමා තම බිසෝවරුද සමඟ මැද මහනුවරට ගොස් සැඟව සිටියේය. රජු කෙරේ කලකිරි සිටි උඩරට ජනතාවගේ විමුක්‌ති දායකයන් ලෙස පෙනී සිටි ඉංග්‍රීසිනට රජු පිළිබඳව තොරතුරු සැපයීමට සිංහල ජනතාව ඉදිරිපත් වූ බව විශ්වාස කළ හැකිය.
1815 පෙබරවාරි 18 දින බ්‍රිතාන්‍ය සේනාංකයක් සමඟ මැද මහනුවර බලා ගිය එක්‌නැලිගොඩ මොහොට්‌ටාල විසින් බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටිය ආරච්චිගේ නිවසේ ආරක්‌ෂාව ලබමින් සිටි රජු සහ බිසෝවරුන් පිරිස අල්ලාගෙන ඉංග්‍රිසින්ට භාර දෙන ලදි. මේ අයුරින් උඩරට රාජ්‍යයද බ්‍රිතාන්‍යයන්ට අයිති විය.
ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ කාර්යයන් අතර, දළදා මාලිගයට යාබදව අලුත් රජ මාලිගය ඉදිකිරීම, දළදා මාලිගයට සම්බන්ධ කොට පත්තිරිප්පුව ඉදිකිරීම සහ පැරණි බෝගම්බර වැව වෙනුවට දැනට දළදා මාලිගාව ඉදිරියේ ඇති මහනුවර වැව (කිරි මුහුද) ඉදිකිරීම වැනි කටයුතු වැදගත් වේ.
