රාජාධි රාජසිංහ රජතුමාගේ සමය
 

ක්‍රි. ව. 1782 - 1798 කාලයේ උඩරට රජ කළ රාජාධි රාජසිංහ රජතුමා කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ බාල සහෝදරයාය. වැලිවිට ශ්‍රි සරණංකර හිමිපාණන්ගන් ශිල්ප ශාස්‌ත්‍ර හැදෑඑරූ මේ රජුද ශාසනික සේවාවන් සඳහා නොමඳව රාජ්‍ය අනුග්‍රහය දැක්‌වය. බුදු දහමේ චිරස්‌ථිතිය සඳහා කතිකාවක්‌ද ඇති කළ මෙතුමා "අසදිස දාකව" නමැති කෘතියේ කතුවරයාද වෙයි.

මේ රජුගේ කාලයේදී උඩරට ප්‍රභූන් හා රජු අතර සහ ප්‍රභූන් එකිනෙකා අතර ඇතිවූ මතභේද නිසා රාජ්‍ය පරිපාලන කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත්විය. මීට පෙර කියන ලද 1766 ගිවිසුම නිසා උඩරට රාජ්‍යයේ ආර්ථිකයද පරිහානියට පත්වන්නට විය. මුහුදැබඩ ප්‍රදේශ පාලනය කළ ලන්දේසින් මර්දනය කිරීමට රජුට නොහැකි විය. ලන්දේසින් එලවා දැමීම සඳහා වෙනත් විදේශ ජාතියක්‌ගේ සහාය ලබා ගැනීමට රජුට නොහැකි වූයේ යුරෝපීයයන්ගේ පෙරදිග අධිරාජ්‍ය කටයුතු යුරෝපයේ දේශපාලන සිදුවම් මත නිරායාසයෙන්ම තීරණය වූ නිසාය. ඒ අනුව 1796 දී ලන්දේසින්ට වඩා බලවත් ජාතියක්‌ වූ ඉංග්‍රීසින්ට ලංකාවේ මුහුදැබඩ ප්‍රදේශ යටත් විය. උඩරට රජුට මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග කිසිවක්‌ නොවීය.

(c) Shilpa Sayura Foundation 2006-2017