උඩරට ස්‌වාධීනත්වය ආරක්ෂා කළ වැදගත් රජවරු
 

සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි. ව. 1463-1511)
මේ රජතුමා කෝට්‌ටේ රාජ්‍යයේ ප්‍රධානත්වය නොපිළි ගත්තේය. 1471 පමණ වන විධ උඩරට රාජ්‍යය කන්ද උඩ පස්‌රටට අමතරව මාතලේ, අටසිය පත්තුව, සිදැරුවාන, බලවිට, හාරසිය පත්තුව, ගොඩරට, මතුරට, ඌව, අටපොඩිය, සොරබොර, වෙල්ලස්‌ස, කොත්මලේ, ගම්පොළ, දොළොස්‌බාගේ, බුලත්ගම, මාතොට, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්‌වා ව්‍යාප්ත කිරීමට වික්‍රමබාහු රජුට හැකිවිය.




ඔහුගේ ගඩලාදෙණිය සෙල්ලිපිය අනුව කළුතර කෝරළයද උඩරටට යා කරගත් බව පෙනේ.මේ රජුගේ කාර්ය සංසිද්ධියේ වැදගත්ම දෙය වන්නේ උඩරට රාජ්‍යය කෝට්‌ටේ ග්‍රහණයෙන් මුදවාගෙන ස්‌වාධීන රාජ්‍යයක්‌ බවට පත්කර ගැනීමයි. උඩරට රාජ්‍යයේ සීමාවන් පුළුල් කිරීම නිසාද ඔහු උඩරට ඉතිහාසයේ වැදගත් රජෙකු බවට පත්වෙයි. එකල ශිලා ලේඛනවල මේ රජතුමා හඳුන්වා ඇත්තේ . චක්‍රවර්තී ස්‌වාමීන් යනුවෙනි.

සේනා සම්මත වික්‍රමබාහුට පසුව ඔහුගේ පුත්‍රයා ජයවර නමින් උඩරට රජවිය. ඔහුට සමකාලීනව උඩරට ප්‍රදේශයේ තවත් පාලකයෙකු . පල්ලේපිට්‌ය නුවර සිට පාලන කටයුතු කර ඇත. මේ පුද්ගලයා මේවරතුනයා (තුනයම රජු) ලෙස මූලාශ්‍රවල දැක්‌වේ. මේ කාලයේ උඩරට ස්‌වාධීනත්වය ගිලිහී ගිය බව පෙනේ.

පසුව උඩරට, කෝට්‌ටේ අටවන වර පරාක්‍රමබාහු රජුට කප්පම් ගෙවන සාමාන්ත රාජ්‍යයක්‌ බවට නැවත උඩරට රාජ්‍යය පත්විය.

තුනයම රජුගෙන් පසුව වික්‍රමබාහු පරපුරේ දෙවන ජයවර 1514 දී මහනුවර රජ විය. ඔහු කෝට්‌ටේ රජු සහ පෘතුගීසීන්ගේ උපකාරයෙන් මහනුවර බලය ලබාගෙන ඇති අතර කෝට්‌ටේ රජ පවුලෙන් විවාහයක්‌ද කරගත් අයෙකි.

1542 දී වීර වික්‍රමබාහු මහනුවර රජවිය. ඔහු තුනයම රජුගේ පුත්‍රයෙකි. ඔහුගේ කාලයේ අධ්‍යාපන කටයුතු හා සාහිත්‍ය කටයුතුවල නවෝදයක්‌ ඇති විය. මහා වංශය, රාජ රත්නාකරය වැනි ග්‍රන්ථ මෙකල රචනා ව ඇත.

1580 දී දෙවන ජයවීරගේ පුත් කරල්ලියද්දේ බණ්‌ඩාර උඩරට රජවිය. ඔහුටද රජකම ලබා ගැනීම සඳහා කෝට්‌ටේ රජු හා පෘතුගීසින් උපකාර කොට ඇත.

සේනාසම්මත වික්‍රමබාහුට පසුව කරල්ලියද්දේ බණ්‌ඩාර දක්‌වා උඩරට පාලකයන් සියලු දෙනාම කෝට්‌ටේ රාජ්‍යයේ සාමාන්ත රජවරු ලෙස කටයුතු කර ඇත. කෝට්‌ටේ රජවරු හා සීතාවක පාලකයන්ද ඒ අතර පෘතුගීසීන්ද උඩරට තමන් යටතට ගැනීමට නිතර උත්සාහ කොට ඇත.


කරල්ලියද්දේ රජු සීතාවක මායාදැන්නේ රජුට විරුද්ධව කෝට්‌ටේ රජු සමඟ එක්‌විය. මායාදැන්නේ රජුගේ පුත්‍රයා වු ටිකිරිබණ්‌ඩාර කුමරුගේ ආක්‍රමණ මැඬලීම සඳහා පෘතුගීසින්ගේ ආධාර ලබා ගැනීමටද කරල්ලියද්දේ රජුට සිදුවිය. කරල්ලියද්දේ රජු කතෝලික ආගම වැළඳ ගැනීම උඩරට ප්‍රභූන්ගේ අසතුටට හේතු විය.

මෙකල ටිකිරි කුමරු, 1 වන රාජසිංහ නමින් සීතාවක රජව සිටියේ ය. රාජසිංහ රජුගේ උපකාරයෙන් කරල්ලියද්දේ රජු එළවා දැමීමට උඩරට ප්‍රභූහු කුමන්ත්‍රණය කළහ. මෙහි මූලිකත්වය ගත්තේ ගම්පොළ වීරසුන්දර බණ්‌ඩාරයන්ය. වීරසුන්දර බණ්‌ඩාරගේ උපදෙස්‌ අනුව උඩරට ආක්‍රමණය කළ රාජසිංහ රජු 1582 දී මහනුවර රාජ්‍යය සීතාවකට යටත් කර ගත්තේය.

කරල්ලියද්දේ රජු තම දියණිය (කුසුමාසන දේවි) හා බෑනා වු (යමසිංහ බණ්‌ඩාර) සමඟ පෘතුගීසීන් වෙතට පලා ගියේ ය.
රාජසිංහ රජු යටතේ උඩරට ප්‍රදේශයේ පාලනය වීරසුන්දර බණ්‌ඩාරට පැවරුණි. එහෙත් උඩරට ප්‍රභූන්ගේ අභිප්‍රාය වූයේ සුදුස්‌සෙකු රජු ලෙස පත්කර ගැනීමට මිස සීතාවක රාජසිංහ රජු යටතේ සිටීම නොවේ. මේ නිසා වීරසුන්දර බණ්‌ඩාර රාජසිංහ රජුට විරුද්ධව කැරලි ගණනාවක්‌ මෙහෙයැවීය.

උපායකින් වරසුන්දර බණ්‌ඩාර සීතාවකට ගෙන්වා ගත් රාජසිංහ රජු බොරු වළක දමා ඔහු මැරවීය. වීරසුන්දර බණ්‌ඩාරගේ පුත්‍රයා වූ කොනප්පු බණ්‌ඩාර මේ අවස්‌ථාවේ පෘතුගීසින් වෙතට පලා ගියේය. පෘතුගීසින් ඔහු ගෝවට යවා එහිඳී දොන් ජුවන් යනුවෙන් බෞතීස්‌ම කොට යුද්ධ ශිල්පය හැදෑරමට අවස්‌ථාවක්‌ද ලබාදුණි.

(c) Shilpa Sayura Foundation 2006-2017