උඩරට රාජධානිය ආරම්භය
 


පොළොන්නරු යුගය අවසානයේ එල්ල වු කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු රජරට විසූ ජනතාවගෙන් කොටසක්‌ නැවත මධ්‍යම කඳුකරයට සංක්‍රමණය වී ඇත. 

තවද රජරට සිංහල රජවරු කන්ද උඩරට පාලනය කර ඇත්තේ යුවරජ හෝ ඈපා කෙනකු විසින් බව මූලාශ්‍ර වල ලියවී ඇත. කන්ද උඩරට ආරක්‍ෂාකාරී බව නිසා පරසතුරු උවදුරු කාලයන්හි පසු බැසීමට හා සැඟවී සිටීමට සුදුසු විය. හඟුරන්කෙත, වාගිරිගල, මැද මහනුවර, බඹරගල, මාරස්සන ආදී ස්ථාන එසේ භාවිතා වූ බවට සාක්‍ෂි තිබේ.

යාපනයේ ප්‍රාදේශීය පාලකයෙකු වු පරරාජ ශේඛරන්ගේ කාලයේ යාපනයේ විසූ ස්‌වදේශීක ජන කොටස්‌ මධ්‍යම කඳුකරයට සංක්‍රමණය වු බවද ද්‍රවිඩ මූලාශ්‍රවල සඳහන් වෙයි.

 

මේ අනුව කන්ද උඩරට ඊට ආවේනික ශිෂ්ටාචාරයක් බිහිවූ බව සිතිය හැක. එහි සංස්කෘතිය , කලා හා කෘෂි කාර්මුක ජන ජීවිතයද විශේෂ විය. කන්ද උඩරට ස්වාභාවික ජල සැපයුම සරුසාර ජලාශ්‍රිත භූමියක් බිහි කරවීය. කොත්මලේ යකඩ කර්මාන්තය දියුණු වූ අතර එහි ගැමුණු කුමාරයා ද කලක් සැඟවී සිටියේය. දුම්බර ප්‍රදේශය ඉතාම සරු සාර ප්‍රදේශයක් වූ අතර මැද මැද මහනුවර, මිනිපේ දක්වා එය ව්‍යාප්ත විය.

 

මහනුවර නගරය පිළිබඳව වැදගත් තොරතුරු ඇතුළත් ඓතිහාසික මූලාශ්‍ර දෙකක්‌ ඇත.

(1) අස්‌ගිරි තල්පත
මහනුවර අස්‌ගිරි විහාරයේ ආරම්භය පිළිබඳවත් මහනුවර රාජ පරම්පරාව පිළිබඳවත් තොරතුරු මෙහි ඇතුළත් වෙයි. එහි මහනුවර නගරයේ ආරම්භය පිළිබඳව මෙසේ සඳහන් ව ඇත.

"කුරුණෑගල රජ පැමිණි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී එම රජුගේ බෑණනුවන් වූ ශ්‍රීවර්ධන නම් අමාත්‍යයෙක්‌ විය. රජුගේ අණින් ඔහු කන්ද උඩරට "කටුපුළු" නම් නුවරට ගොස්‌ එහි ජරාවාස හැර නව නුවරක්‌ කරවීය.අලුතින් සෑදූ එම නුවරට ශ්‍රි වර්ධන පුරය යයි නම් තබා විහාරයකුත් කරවීය."

(2) සිරිවර්ධන පුර විස්‌තරය
මෙය පේරාදෙණි විශ්ව විද්‍යාලය සතුව ඇති පුස්‌කොළ පොතකි. එහි සඳහන් විස්‌තරය මෙසේය.

"කුරුණැගල රජ කළ හතරවන පරාක්‍රමබාහු රජු අවධියේ උඩරට පහතරට සෙන් රැස්‌ වවුන් සැළකරනුයේ අපගේ උඩරට මෙකල නුවරක්‌ කරවන්නට ඕනෑය. රජු එයින් සතුටට පත්ව ශ්‍රි වර්ධන සේනාධිකාරන් ගෙන්වා එසේ කරන්නට අණ කළේ ය. රජුගේ අණ ලෙස කුරුණෑගල සිට පස්‌ගව්වක්‌ ගිය තැන කසවත් තොටින් එතෙරව සැතපුම් දෙකක්‌ ගිය තැන සිරිවර්ධන නම් නුවරක්‌ කරන්නට පටන් ගත්තේය. ඒ නුවර වට පවුරක්‌ද, පවුර වට කොටු දහරටක්‌ද අස්‌ගිරිය නම් වෙහෙරක්‌ද සතර දේවාල ද කරවාලුයේය"

අස්‌ගිරි තල්පතට අනුව ශ්‍රී වර්ධනය පුරය ඉදිකරවමට පෙර එහි කටුපුළු නම් නුවරක්‌ තිබූ බවත් එය ජරාවාස ව තිබුණු බවත් පෙනී යයි. ඒ අනුව මහනුවර නගරයේ ඉතිහාසය කුරුණෑගල යුගයෙන් බොහෝ ඈතට දිවයන්නක්‌ බව පෙනී යයි.

සෙංකඩගල නගරය පිළිබඳව මහනුවර ආශ්‍රිත ප්‍රදේශවල ඇති ජන කතාවක්‌ මෙසේ ය.

මහනුවර නගරය අසල ගල් ගකුහාවක සෙංඛණ්‌ඩ නම් තාපසයෙක්‌ විසුවේය. දිනක්‌ තවුසා එක්‌ ස්‌ථානයක්‌ඳී නයි මුගටි හටනක්‌ දැටුවේය. එයින් මුගටියා පරාජය ව වනයට පලා ගියේය. ප්‍රබලයා පරාද වූ මේ ස්‌ථානය ජන බිමක්‌ ලෙස සනිටුහන් කළ තවුසා එකල රජුට මේ බව දැන්වය. රජු එම ස්‌ථානයට පැමිණ එහි නගරයක්‌ ඉදි කොට තවුසාගේ නමින් "සෙංඛන්ඩ ශෛල පුර"
යනුවෙන් නම් කළේ ය.

මෙම සිද්ධිය පිළිබඳව දින වකවානු හෝ රජු පිළිබඳ විස්‌තර ජන කතාවේන් නොලැබෙන බැවින් කවර රජෙකු විසින් මෙය කරවීදැයි ජනකතාව අනුව නිශ්චය කළ නොහැකිය.

දුම්බර ප්‍රදේශයේ ඇති ජන කතාවක්‌ අනුව දැටුගැමුණු රජුගේ මව වූ විහාරමහා දේවිය තම පුත්‍රයා සමඟ උතුරේ යුද්ධයට යන අතර මහනුවරට පැමිණි බව කියැවේ. දුම්බර තවත් ජනකතාවක්‌ අනුව ප්‍රාග් ඵෙතිහාසික යුගයේ මහනුවර ප්‍රදේශයේ යක්‌ෂ ගෝත්‍රිකයින්ගේ ජනාවාස තිබූ බව කියැවේ.

මෙම ජනකතා අනුව ඵෙතිහාසික යුගයේ රජරට බිහි වු උත්කෘෂ්ඨ ජලාශ්‍රිත ශිෂ්ටාචාරය වෙත මධ්‍යම කඳුකරයේ වාසය කළ බොහෝ පිරිස්‌ සංක්‍රමණය වු බවද පෙනී යයි. ක්‍රිස්තු පුර්ව යුගයකදි ආරම්භ ව යැයි සිතිය හැකි සෙංඛණ්‌ඩ ශෛලපුරය (කටු ලැහැබින් වැසී ගිය නිසා කටුපුළු නුවර) ජරාවාස වූයේ ඒ නිසා විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017