රෝම ලන්දේසි නීතිය හා අනිකුත් බලපෑම්
 

විවිධ සංශෝධන සහිතව අද දක්‌වාම අපේ රටේ ක්‍රියාත්මක වන නීති සංග්‍රහයේ කොටසක්‌ වන රෝම - ලන්දේසි නීතිය ලන්දේසියන්ගෙන් අප ලත් දායාදයකි.

ලන්දෙසින්ගෙන් ගෘහ නිර්මාණ ක්‍රම, ඇදැම් පැළදැම්, ක්‍රම සහ විවිධ විලාසිතාවන්ද මෙරට ජන සමාජයට එක්‌ ව ඇත. පහතරට ප්‍රදේශවල ඇති සමහර ප්‍රභූ නිවාස ලන්දෙසි ගෘහ නිර්මාණ ක්‍රමයට අනුව ගොඩනැගූ ඒවාය. මැද මිදුලක්‌ සහිත වීම ඒවායේ විශේෂ ලක්‌ෂණයක්‌ විය.

 

 

 


රේන්ද, බෝරිච්චි, හාරිච්චි, සොල්දර, ඉස්‌තෝප්පු, ඉස්‌කෝල ආදී වචන සහ අච්චාරු, කොකිස්‌ වැනි ආහාර වර්ග ද මෙරට ජන සමාජයට එක්‌විය. තනතුරු හා නම්බුනාම මඟින් අලුතින් ඇතිවූ ප්‍රභූ පිරිසක්‌ ද බිහිවිය.

කුරුඳු සම්බන්ධයෙන් ලන්දෙසින්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ඉතා දැඩි විය. කුරුඳු ඉඩම්වල පදිංචි අය ඒ වෙනුවෙන් නිශ්චිත කුරුදැ ප්‍රමාණයක්‌ ලන්දේසින්ට සැපයිය යුතු විය. එම නීතිය කඩ කළ අයට බලපතල දඬුවම් විඳීමටද සිදුවිය.

මීගමුව, කළුතර, සල්පිටි කෝරළය, ගාල්ල, මරදාන යන ප්‍රදේශවල කුරුඳු වගා කිරීම ලන්දෙසින් යටතේ ආරම්භ විය. ලස්‌කිරිඤ්ඤ හමුදාව ඒ සඳහා යොදවා ගනු ලැබිණි. වගාව මඟින් විශාල කුරුදැ ප්‍රමාණයක්‌ ලබා ගැනීමටද ඔවුන්ට හැකිවිය. කුරුඳු වගාවට අමතරව පුවක්‌, ගම්මිරිස්‌, කෝපි, එනසාල් හා උක්‌ වගාවන් ද ඔවුන් විසින් ආරම්භ කළ බව පෙනේ.

යුද්ධ සෙබළුන්ට අවශ්‍ය ආහාර ඉන්දියාවෙන් ගෙන්වම සඳහා ලන්දේසින්ට විශාල මුදලක්‌ වැය විය. වී වගාව සඳහා දේශීය ජනයා නැඹුරු කිරීම සඳහා ගොවිතැන් නොකරන කුඹුරු ඉඩම් රාජසන්තක කරන බව නිවේදනය කරන ලදි. ඉන්දියාවේ තංජෝරයෙන් ගෙන්වූ වහලුන් යොදවා ඇතැම් ඉඩම් වගා
කරවීමද සිදුවිය. මීගමුවට නුදුර වගුර බිමක් වූ මුතුරාජවෙල අස්‌වැද්දීම ඊට නිදසුනකි. මන්නාරම අසල පිහිටි යෝධ වැව හා කන්තලේ වැව ප්‍රතිසංස්‌කරණය කොට වී වගාවට යෙදවූවෝය.

තවද ගිරුවාපත්තුවේ කුඹුරු අක්‌කර දහස්‌ ගණනක්‌ වගා කිරීමට කටයුතු සැලැස්‌වුහ. මේ සියල්ල ඔවුන් කළේ වියදම අඩුකර ලාභය උපරිම කර ගැනීමටය.

ඇතුන් ඇල්ලීම, මුතු කිමිදීම, සිනී නිපදවීම, රෙදි නිපදවම ද ඉහත කී පරමාර්ථය මුල් කොටගෙන මෙරට ආරම්භ කරන ලඳී. පෘතුගීසීන් ආරම්භ කළ ඉඩම් පිළිබඳ විස්‌තර ලේඛනගත කිරීම හෙවත් තෝම්බු සැකසීම ක්‍රමවත් කොට සියලුම ඉඩම් හිමියන්ගෙන් බදු අය කර ගැනීමට කටයුතු කිරීම ද ලන්දේසි ආර්ථික ප්‍රතිපත්තියේ කැපී පෙනෙන ලක්‌ෂණයකි.

 

(c) Shilpa Sayura Foundation 2006-2017