ලංකාවේ රජ පෙළපතේ රටට හොඳ දේ කිරීම ගැනත් නරක දේ කිරීම ගැනත් එක හා සමාන කීර්තියකුත් අප කීර්තියකුත් ලබාගත් කෙනෙකි මහසෙන් රජ. මිසදුටු ඇසුරෙන් බුදුසමය නැති කිරීමට මෙතෙම වරක් උත්සහ කෙළේය. සත්පුරුෂ ආශ්‍රයෙන් යළිත් ඔහු රට දැය සමය වැඩීමට වැඩ රාශියක් කෙළේය. මේ නිසාම මොහු ගැන රටවැසියා අතර පැතිරී ගිය ජනප්‍රවාද බොහෝය.
මොහුගේ තේජස හා අණසක අහස යොත්නක් උසට පැවතුනැයි කියති. අනුරාපුර දෙව්රම් වෙහෙර කරවීමෙහි යෙදී සිටින කාලයෙහි භෛරවයාගේ මෙහෙකාර යක්‌ෂයෝ දෙන්නෙක් අනුරාපුර අහසින් යන අතර මහසෙන් රජුගේ අණ තෙද බල පවත්නා ප්‍රදේශයට ඇතුළුවත්ම යා නොහැකිව බිමට බැස්‌සෝය. යකුන් දෙන්නා රජු වෙත එළඹ ආචාරකර සිටියහ. එවිට රජතුමා උන් දෙන්නාට දෙව්රම් සෑ කර්මාන්තයෙහි යෙදෙන ලෙස අණ කළේය.
සෑ කර්මාන්තයෙහි යෙදී සිටි උන් දෙන්නා වැඩ අවසාන වූ පසු බහිරවයා වෙතට ගියෝය. උන් දුටු බහිරවයා තෙපි මෙතෙක් කල් කොහි සිටියහු දැ යි ගුගුළේය.
දඹදිව ජේතවනය
ඒ බහිරවයා දඹදිව දෙව්රම් වෙහෙර රැකබලා ගැනීමට දිව්රුම් දී සිටි කෙනෙකි. ලක්‌දිව මහසෙන් රජු මෙහිත් දෙව්රමක් කරවීම ගැන ඇසූ ඔහු "මොකද බොල ! දෙව්රම් වෙහෙර මෙහි තිබේද්දී තවත් දෙව්රමක් ලක්‌දිව කරවන්නේ කුමක් නිසාද ? වහාම තෙපි ගොස් ඒ දෙව්රම කඩා බිඳ දමා එව "යි නියෝග කෙළේය. කෝපාග්නියෙන් දිලිහී ගිය බහිරවයා දෙව්රම පමණක් නොව එය කරවන මහසෙන් රජුත් විනාශකර දමන ලෙස වැඩිදුරටත් අණ කළේය.
බහිරවයාගේ සේවකයෝ ටිකක් පසුබැස සිංහලේ මහසෙන් රජුගේ අණසක නොඋලැහිය හැකි තරම් බලවතැයි පිළිතුරු දුන්නේය. එවිට "හොදයි මම ඔහු අල්ලා මුහුදට විසිකර දමමි"යි වහසි බැණ සැනයකින් මහසෙන් රජු ඉදිරියේ පෙනී සිටියේය. මහසෙන් රජු කඩුව අතට ගෙන තා කවුදැයි සිංහ ස්‌වරයෙන් අසත්ම භෛරවයා හුළඟින් සැලෙන පරඩලා පතක් සේ වෙවුලමින් "ස්‌වාමිනි, මමය දඹදිව දෙව්රමේ අරක්‌ගත් බහිරවයා"යි දොහොත් නඟා කීවේය. "හොදයි තා අද සිට මේ අපේ දෙව්රම රැකිය යුතුය"යි රජු අණ කෙළේය.
එවිට බහිරවයා උත්තර දෙමින් තමා මෙහි නැවතුන හොත් දඹදිව මහ දෙව්රම රැකීමට කෙනෙක් නැති නිසා තමාගේ බහිරව රූපය දෙව්රම දොරටුවේ ගලින් නෙලා තැබීම සෑහේ යැයි කීවේය. එවිට රජතුමා බහිරවයාට යාමට අවසර දුන්නේය. මහසෙන් රජතුමා විසින් කරවා සිටුවන ලද ඒ බහිරව රූප තවම එහි ඇත්තේය. යමෙක් බහිරව රූප වලට අත ගසා බොරු දිවිරීමක් කළොත් එහි අනිෂ්ට විපාකය එවලේම ලැබෙන බව විස්‌වාස කරති.
මහසෙන් රජුගේ කිරිදෙන
මහසෙන් රජුට විශාල හරක් පට්‌ටියක් තිබුණේය. ඒ ගව දෙනුන් අතර එක් පුදුම ගවදෙනක් වූවාය. ඇගේ කිරි අතිශයින් මිහිරිය, සුවඳය, රජු ඇගේ කිරි මිස අන් කිරක් බිව්වේ නැත. මේ දෙනගේ කිරි මෙසේ රසවත් වීමට හේතුව කුමක්‌දැයි ගව පාලකයන් පවා දැන සිටියේ නැත. මේ ගැන කල්පනා කල රජතුමා දෙනගේ කිරි රසවත් වීමට හේතුව නොඅනුමානව ම ගවදෙන තණ කන ප්‍රදේශය සොයා බලන ලෙස රජු ගොපල්ලන්ට අණ කෙළේය.
උදේ ගව ගාලෙන් පිටවන දෙන සවස එනතුරු කොහේ යන්නේදැයි කිසිවෙකුට දැනගත නොහැකි විය. මේ බව දැනගත් රජතුමා තල ඇට මිටියක් මල්ලක බහා දෙනගේ පිට උඩ තබා බැඳ එහි කුඩා සිදුරක් කරන ලෙස නියෝග කෙළේය. ගොපල්ලෝ ද එසේ කළෝය. මෙය කෙලේ ඉඩෝර කාලයකදී ය. දින ගණනක් ගත වූ පසු වර්ෂා කාලය එළඹුණේය. ටික දිනක් ගතවන විට අනුරාධපුරේ සිට මින්නේරිය දක්‌වා තල පැළවූ මාර්ගයක් දක්‌නට ලැබුණේය.
රජතුමා පිරිවරත් කැටුව ඒ පැළ ඔස්‌සේ මින්නේරිය දක්‌වාම ගමන් කෙළේය. එසේ ගිය රජුට වනයෙන් වට වූ විශාල සමභූමියකුත් එහි ඇති වැල්මී වනයකුත් දක්‌නට ලැබුණේය. දෙනගේ කිරි මිහිරි වූයේ මේ වැල්මී වනයේ කොළ කෑම නිසා බව ප්‍රත්‍යක්‌ෂ විය. රජතුමා එහි කැලෑ කප්පවා මින්නේරිය වැව බඳවා විශාල කෙත් යායක් කරවූයේය.
